මහ වැස්ස මැද අමුතු කතා
කන්තලෙන් මැණික් ඉල්ලමක් මතුවෙයි
මීට දින තුන හතරකට පෙර සිට කන්තලේ මහවැව ඉස්‌මත්තේ වැව් පිටියෙන් වටිනා මැණික් කැට මතුවීමට පටන්ගෙන තිබීම නිසා විශාල පිරිස් මේ දිනවල වැව්පිටියේ තැන් තැන්වල කල්ලි ගැසී මැණික් සොයනු දක්‌නට ලැබේ.
ඊයේ (29 දා) මහ වර්ෂා මැද අප එහි යන විට ද ගැහැනු පිරිමි, ලොකු කුඩා බොහෝදෙනකු කුඩ ඉහළගෙන වැව ඉස්‌මත්තේ අතින් හා කෝටුකෑලිවලින් පොළොව හාරමින් මැණික් ගොඩ දැමීමට යුහුසුලූ වන අයුරු දක්‌නට ලැබිණි
මේවා අපිට දෙයියෝ දෙන වස්‌තුව. මේ මැණික් නිසා විදේශ විනිමය ලැඛෙනවා. වැවට හානි නොවන සේ අපි මේ ව්‍යාපාරය කරගෙන යනවා. මේකට අපිට ඉඩදෙන්න. ගියපාර වගේ මේක තහනම් කරන්න එපා
මේ එහි මැණික් සොයන පිරිස් කියන කතාය.
මේ වන විට රුපියල් ලක්‍ෂ 5,6,7 යන මිල ගණන් වටිනා මැණික් දහ පහළොස් දෙනකුට ලැබුණු බව ද මොවුහු කියා සිටියහ.
කන්තලේට මාළු වැස්සක්
මාස 6 ක පමණ දීර්ඝ ඉඩෝරයකින් පසු දැනට දින කිහිපයක සිට කන්තලේ ප්‍රදේශයට අධික වැසි ඇදහැළෙන්නට පටන්ගෙන ඇති අතර ඊයේ (29 දා) පෙරවරුවේ හිටි හැටියේම කන්තලේ නගර මධ්‍යයේ ඇති ලීලාරත්න ක්‍රීඩාංගණයට අඟල් තුන හතර දිගැති හිරිකණයි හා පෙතියන් වර්ගයේ වැව් මත්ස්‍යන් ඇදහැළෙන්නට පටන් ගත් බව ප්‍රදේශවාසීහු කීහ.කුඩා මත්ස්‍ය පැටවුන් ඒ මේ අත දුව පනිමින් ක්‍රීඩාංගණයේ කුඩා දියඅගල් තුළ දක්‌නට ලැබුණු අතර පින්තූරයෙන් දැක්‌වෙන්නේ ක්‍රීඩාංගණයේ ඒ මේ අත දඟලන මත්ස්‍ය පැටවුන්ය.
හඳපානාගල වැවෙන් අරුම පුදුම මාළුවෙක්
වැල්ලවාය
ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් හඳපානාගල වැවෙන් අරුම පුදුම මාළුවෙක් හමුවී ඇත. මේ සත්වයාගේ ශරීර කොටස මාළුවකු සේ වන අතර කට හා දත් කිඹුලෙකුට සමානය.
ප්‍රදේශයේ ධීවරයන් පවසන්නේ මෙවැනි මාළුවකු දුටු ප්‍රථම වතාව මෙය බවත් මුල් අවස්‌ථාවේ කිඹුල් පැටියකු යෑයි සිතුවත් පසුව කරමල සහ කොරපොතු ඇති බැවින් මාළුවකු යෑයි සිතිය හැකි බවයි. දිග අඩි 2 ක්‌ද බර කිලෝ 01 ග්රෑම් 382 ක් වන මෙම මාළුවා ඊයේ සවස හමුවී ඇත්තේ ධීවරයකුටය. මේ පිළිබඳව පරීක්‍ෂා කිරීමට නාරා ආයතනයට දැනුම් දී ඇත.






