දින 18කට පෙර වෙරළට ගොඩ ගැසූ සිරුර ඇඟිල්ලේ රෙදි පටියකින් හඳුනා ගැනේ
පැළඳගෙන සිටි කෝටි 3 1/2 ක රත්‍රංවලට වෙච්ච දෙයක් නෑ
නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක් විසින් මීට මාසයකට උඩදී පැහැරගෙන ගිය රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මොහොමඩ් සාලි නියාස් හෙවත් ලොකු සීයා කෲර වධහිංසා පමුණුවා අභිරහස් අන්දමින් ඝාතනය කර සිරුර ඉටිරෙදිවලින් ඔතා ගලක් බැඳ අක්‌කරේපත්තුව මුහුදේ ගිල්ලවා තිබියදී අක්‌කරේපත්තුව පොලිසිය මගින් සොයාගෙන ඇත.
මුහුදේ ගිල්ලවා තිබූ ලොකු සීයාගේ සිරුර අක්‌කරෙයිපත්තුව මුහුදු වෙරළට ගොඩගසා ඇත්තේ මීට දින 18 කට උඩදීය.
මියගිය පුද්ගලයා කාගේ කවුදැයි හඳුනාගැනීමට නොහැකිව දින 18 ක් තිස්‌සේ අක්‌කරෙයිපත්තුව රෝහලෙහි මෘත ශරීරාගාරයෙහි තැන්පත් කර තිබී ඇත. මෙම සිරුර පිළිබඳ ලැබුණු තොරතුරු මත ඊයේ (24 වැනිදා) දහවල් අක්‌කරෙයිපත්තුව රෝහලට ගිය ඥතීන් පිරිසක් එම සිරුර ලොකු සීයාගේ බව හඳුනාගෙන තිබේ.
ලොකු සීයා හැඳ සිටි ඇඳුම්වලින් සහ ඔහුගේ අතක ඇඟිල්ලක තුවාලයක ගැටගසා තිබූ රෙදි පටියකින් ඥතීන් ඔහුගේ සිරුර හඳුනාගත් බව පොලිසිය පවසයි.
සිරුර සොයාගන්නා අවස්‌ථාවේ එය පොලිතින් උරයක ඔතා කටුකම්බිවලින් ගැටගසා ඊට විශාල ගලක් බැඳ තිබූ බව පොලිසිය පවසයි. මුහුදේ ගිල්ලවා තිබූ සිරුර විශාල ගලද සමඟ ගොඩට ගසාගෙන පැමිණ ඇති අතර පසුව එය අක්‌කරෙයිපත්තුව පොලිසිය මගින් රෝහලේ මෘත ශරීරාගාරය වෙත භාරදී තිබිණි.
මෙම මළසිරුර කාගේදැයි යන්න ඒ වනවිට හඳුනාගෙන නොතිබූ අතර ඒ පිළිබඳ පොලිස් මූලස්‌ථානය වෙතද දැනුම් දීමට අක්‌කරෙයිපත්තුව පොලිසිය පියවර ගෙන තිබිණි.
අක්‌කරෙයිපත්තුව මුහුදු වෙරළට නාඳුනන පුද්ගලයකුගේ සිරුරක් ගොඩගසා ඇති බව ලොකු සීයාගේ ඥතීන් දැනගෙන ඇත්තේ මීට දින දෙකකට උඩදීය. ලොකු සීයා ඝාතනය කිරීමට පෙර ඔහුට කෲර වධහිංසා පමුණුවා ඇති බව හෙළිවී ඇත.
ඔහුගේ ගෙල සිරකර උදරය ප්‍රදේශය සහ තවත් ස්‌ථාන කිහිපයක් තියුණු ආයුධවලින් කපාදමා තිබූ බවද මළ සිරුර පරීක්‍ෂා කිරීමේදී හෙළිවී ඇත. සිරුර සොයා ගන්නා අවස්‌ථාවේ එය දැඩිලෙස විකෘතිව පැවැති බව පොලිසිය පවසයි.
කිසියම් පිරිසක් විසින් ලොකු සීයා ඝාතනය කර සිරුර පොලිතින්වලින් ඔතා අක්‌කරෙයිපත්තුව මුහුද වෙත බෝට්‌ටුවකින් රැගෙන ගොස් එය ගිල්වා දමන්නට ඇති බව පොලිසිය සැක පහළ කරයි.
රාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක් පවත්වාගෙන ගිය ලොකු සීයා නාඳුනන කණ්‌ඩායමක් විසින් පැහැර ගෙන ගියේ ඉකුත් ඔක්‌තෝබර් මස 27 වැනිදා සවස 6.25 ට පමණ මහබාගේ කෙරවලපිටිය ප්‍රදේශයේදී.පැහැර ගන්නා අවස්‌ථාවේදී ලොකු සීයා කෝටි තුනහමාරක් පමණ වටිනාකමින් යුත් රන් ආභරණ පැළඳ සිටි අතර සිරුර සොයාගන්නා අවස්‌ථාවේ ඒ කිසිවක් තිබී නැත. ලොකු සීයා කවුරුන් විසින් පැහැරගෙන ගියේද? ඝාතනය කළේ කවුරුන්ද? කුමක් සඳහාද? යන්න මෙතෙක් අනාවරණය වී නැත.
අක්‌කරෙයිපත්තුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.