මට තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා...
ගායකයෙක් විදිහට මිනිස්‌සු අතර කතාබහට ලක්‌වෙන්න ගීත කීයක් නම් ගායනා කරන්න ඕනෑද? තමන් ගායනා කළ පළමු ගීතයෙන්ම ඒ හඬ ගැන බොහෝ දෙනා කතාබහ කළා. නමුත් ඒ හඬේ හිමිකරුගේ නම එතරම් කතාබහට ලක්‌වුණේ නැහැ.
මතකද හැන්දෑවේ ගීතයෙන් පසුව යළිත් මේ හඬ අවදිවූයේ නොදැක ඉන්න බෑ ගීතය හරහායි. අද වන විට බොහෝ දෙනෙක් දන්නා හඳුනන ඔහු රුවන් හෙට්‌ටිආරච්චිය. ලක්‌ස් දෙරණ සිනමා සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ගායකයා වීමේ හිමිකරුද ඔහු. මේ කතාබහ රුවන් සමගය.
රුවන් ඔබේ හැඳින්වීමකින්ම මේ කතාව ඇරඹුවොත් ?
මගේ නම රුවන් හෙට්‌ටිආරච්චි. ගම මාතලේ. පවුලේ අම්මා විතරයි. තාත්තා අන්ත්‍රාවෙලා. වැඩිමල් සහෝදරයන් තුන්දෙනෙක් ඉන්නවා. මම පවුලේ බාලයා. පාසල් ගියේ මාතලේ වේරගම විදුහලට සහ විජයපාල විදුහලට.
ගායනයට යොමුවුණේ කොහොමද?
පාසලේදී සංගීතය විෂයක් විදිහට හැදෑරුවා. ඊට පස්‌සේ පාසල් අධ්‍යාපනය අවසන් කළාට පසුව බෙල්වුඩ් සංගීත නිකේතනයේ අවුරුද්දක් විතර සංගීතය හැදෑරුවා. ඔය අතරේ පල්ලියේ ගීතිකා කණ්‌ඩායමේ සාමාජිකයෙක්. ගායනයට නැඹුරුවුණේ පල්ලියේ ගීතිකා කණ්‌ඩායමේ සාමාජිකයෙක් හින්දා.
නොදැක ඉන්න බෑ ගීතය මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවද?
මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නැහැ. මිනිසුන් අතරට යම්තාක් දුරට යන්න පුළුවන් වෙයි කියලා විතරයි හිතුවේ. මම හිතපු නැති ජනප්‍රියත්වයක් තමයි ලැබුණේ.
ගීතය ජනප්‍රිය වුණ නිසාද රූප රචනයක් කළේ ?
නැහැ. ඉස්‌සර කාලේ නම් ගීතවලට රූප රචනා කරන්නේ නැහැ. ගුවන්විදුලිය හරහායි ඒ ගීත ජනප්‍රිය වුණේ. නමුත් වර්තමානයේ රැල්ලක් තියෙනවා රූප රචනයක් කරන්න ඕනෑ කියලා. ඒක කවුරුත් බලාපොරොත්තුවෙන නව
රැල්ල. ඉතිං මම හිතුවා ගීතය තවදුරටත් ජනප්‍රිය වෙන්න නම් රූප රචනයක් අවශ්‍යයි කියලා.
ගීතයක් ජනප්‍රිය වෙන්න ගායකයාගේ මුහුණ පෙනෙන්නම ඕනෑද?
අපොයි නැහැ. හොඳ පදරචනයක්, තනුවක් තිබෙනවා නම් මිනිස්‌සුන්ගේ හිත්වලට ළංවෙන්න පුළුවන්. පැරණි ගායකයෝ රූප රචනා කළේ නැහැ. නමුත් ඒ ගීත අදටත් ජනප්‍රියනේ.
මතකද හැන්දෑවේ ගීතයෙන් රුවන් කියන චරිතය එතරම් ඉස්‌මතු වුණේ නැහැ කිව්වොත් ?
ඒක චිත්‍රපට ගීතයක්. නොදැක ඉන්න බෑ ගීතය වගේම ඒ ගීතයත් ජනප්‍රිය වුණා. මේ ගීතය කවුද කියන්නේ කියලා මිනිස්‌සුන්ට කුතුහලයක් තිබුණා. ඉතිං මට ඕනෑ වුණේ ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න නම් පුද්ගලයා කවුද කියලා හඳුන්වා දෙන්න. ඊට පස්‌සේ මම නොදැක ඉන්න බෑ ගීතය නිර්මාණය කළා. ඒ තුළින් තමයි රුවන් කියන චරිතය ඉස්‌මතු වුණේ.
මේ තරම් කෙටි කලකින් සම්මානයක් ලැබේවි කියලා හිතුවද?
ඇත්තටම මතකද හැන්දෑවේ ගීතයට සම්මානයක් ලැබේවි කියලා හිතුවේ නැහැ. මම ඒ ගීතය අතහැරලයි තිබුණේ. ගීතය ජනප්‍රිය වුණාට මම හිතුවේ නැහැ සම්මානයක් ලැබේවි කියලා. සම්මානය ලැබීම ගැන සතුටුවෙනවා. සම්මානයෙන් මගේ ජීවිතයට නැතිවෙලා තිබුණ දෙයක් නැවත ලැබුණා කියලයි මට නම් හැඟෙන්නේ.
රුවන් කියන්නේ දක්‍ෂ ගායකයෙක්‌ද? ජනප්‍රිය ගායකයෙක්‌ද?
මතකද හැන්දෑවේ ගීතයත් සමග ගොඩක් දෙනා කිව්වේ දක්‍ෂ ගායකයෙක් කියලා. නොදැක ඉන්න බෑ ගීතයටත් දක්‍ෂ ගායකයෙක් කියන කතාව ගොඩක් දෙනෙක් කියනවා මට ඇහිලා තියෙනවා. මම උත්සාහ කරන්නේ බොරු නොකර ඇත්ත කරන්න. මම හිතනවා යම්තාක් දුරට දක්‍ෂයි කියලා. හැබැයි එයින් සෑහීමට පත්වෙන්නේ නැහැ. කොහොම වුණත් මාස තුන හතරෙන් මම ජනප්‍රිය වුණා.
කෙටි කලකින් ලැබුණ ජනප්‍රියත්වය රැකගන්න මොනවද කරන්නේ ?
ඊළඟට කරන නිර්මාණ ගැන මම ප්‍රවේශම් වෙනවා. මිනිස්‌සු වැළඳගන්න දේ තමයි කරන්න උත්සාහ කරන්නේ.
මාතලේ හිටියා නම් මොනවා කරාවිද?
මේ ලැබුණ දේවල් ගැන මොකද හිතන්නේ ?
මේක බොහොම හෙමින් ආපු ගමනක්. මම සංගීතය හැදෑරුවේ පාසල් අවධියේදී. සෑහෙන අත්දැකීමක් එක්‌ක ආපු ගමනක්. විශාරදයන් හොඳට ආශ්‍රය කරලා තියෙනවා. කණ්‌ඩායම් සංගීතයටත් සම්බන්ධ වුණා. විවිධ හැල හැප්පීම්වලට මුහුණ දීලා කට්‌ටක් කාලා තමයි මෙතැනට ආවේ. තරු වගේ එක රැයින් මේ දේවල් ලැබුණේ නැහැ. ඒත් සතුටුයි.
ගායනය වෘත්තියක් විදිහට කරන්නද සූදානම ?
ගායනය වෘත්තියක් විදිහට කරන්නේ. කලින් ඉඳන් සංගීතය වෘත්තියක් විදිහට කළේ. මම නුවර සංගීත පාසලක් පවා කළා.
සංගීත පාසලක් කරන්න තරම් දැනුමක් තියෙනවාද?
ඔව්. මම ඉගෙනගෙන තියෙනවා. සංගීතය ගැන හදාරලා මෙතැනට එන්න කැමැති අයට උදව් කරනවා.
නමුත් ඔබ තවමත් මෙතැනට ආධුනිකයි ?
ඔව් මම පිළිගන්නවා. මම මෙතැනට ඇවිත් වසර දෙකයි. ඇත්තටම ආධුනිකයි. මට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මම ප්‍රවීණයෙක් කියලා කියන්නේ නැහැ.
-සබැදි පුවත්-
- නොදැක ඉන්න බෑ මියුසික් විඩියෝවෙන් ඔබ අතරට පැමිණි - ශෂී
- රුවන් හෙට්ටිආරච්චිගේ ජායාරූප එකතුවක් මෙතනින් බලන්න
දිනේෂ් විතාන
ඡායා - සිතුමිණ ප්‍රනාන්දු