තමන්ට සහ දරුවන්ට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වීමට පටන් ගෙන ඇතැයි සදහන් කරමින්, සාහසික අන්දමින් ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර මහතාගේ බිරිඳ කුරුඳුවත්ත පොලිසිය වෙත පෙරේදා (17 ) රාත්රි පැමිණිල්ලක් කර තිබේ.
දිගින් දිගටම දුරකථනවලින් කතා කරන නාඳුනන පුද්ගලයන් තමන්ටත් තම දියණියට සහ පුත්රයාටත් මරණීය තර්ජන එල්ල කරන බව භාරත ලක්ෂ්මන් මහතාගේ බිරිඳ පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
"උඹේ මිනිහා ගිය දිහාවට උඹවයි ළමයි දෙන්නවයි යවනවා. වැඩිය දඟලන්න එපා. පරිස්සමෙන් හිටපල්ලා" යෑයි කියමින් නාඳුනන පුද්ගලයන් මෙසේ තර්ජනය කරන බව භාරත මහතාගේ බිරිඳ කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
භාරත ලක්ෂ්මන් මහතා ඝාතනය කළ දිනවල සිටම මේ ආකාරයට ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත දුරකථන මාර්ගවලින් තර්ජන එල්ල වී ඇත. පසුගිය දින කීපයේ දී සිට මෙම තර්ජන එල්ල වීම විශාල වශයෙන් වැඩි වී තිබේ.
මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර තර්ජනාත්මක ඇමතුම් ලැබුණු දුරකථන අංක ඔස්සේ සිය පරීක්ෂණ කටයුතු මෙහෙයවන බව පොලිසිය පවසයි.





