අඹන්වලට ඇසිඩ් ගැසූ හත් දෙනාම හිරේ ලක්ෂ 50ක වන්දියකුත් නියම වේ...
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මධ්යම පළාත් විගණන අධිකාරී ලෙස සේවය කළ ලලිත් අඹන්වල මහතා ඝාතනය කිරීමට තැත් කළ විත්තිකරුවන් 7 දෙනාට වසර 10 ත් 20 ත් බැගින් සිරදඩුවම් අද මහනුවර මහාධිකරණය විසින් නියම කරනු ලැබුවේය.
ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ප්රහාරයක් එල්ල කරනු ලැබුවේ 2002 වසරේදී මැයි මස 20 වැනිදාය. මෙම ඇසිඩ් ප්රහාරයෙන් අඹන්වල මහතාට එක් ඇසක් ද අහිමිවිය.
විත්තිකරුවන් 7 දෙනාට චෝදනා 8 ක් එල්ල කර තිබූ අතර එම චෝදනාවන් සඳහා විත්තිකරුවන් 7 දෙනා වෙන වෙනම වරදකරුවන් බවට තීන්දු කෙරිණ.
වරදකරුවන් වූ හත් දෙනාට මහනුවර මහාධිකරණ විනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා සිර දඬුවම්, වන්දි හා දඩ නියම කළේය.
හිටපු අධ්යාපන අධ්යක්ෂ ආනන්ද මුණවීර, ප්රධාන ගණනාධිකාරී ආනන්ද වීරසිංහ යන ඇසිඩ් ප්රහාරයේ ප්රධාන කුමන්ත්රණකරුවන්ට බරපතල වැඩ සහිතව දස වසරක සිර දඬුවම් ද, රුපියල් දෙලක්ෂය බැගින් දඩ ද නියම විය.
ව්යාපාරික මොහොමඞ් රාසික් මොහොමඞ් රියාස්, හුසේන් සෙයියදු මොහොමඩ් සාපි, ඔමාර් ලෙබ්බේ මරික්කාර් මොහොමඞ් නව්පර්, එම්.ෙජ්. මොහොමඞ් රිපාල්, ඉස්රූම් රාමන් හා මොහොමඞ් හනිපා මොහොමඞ් ඉමිටියාස්ට චෝදනා තුනකට බරපතල වැඩ සහිතව විසි වසර බැගින් වසර හැටක සිර දඬුවම් එක විට ගෙවී යන සේ නියම කරන බව එම විනිසුරු කීවේය.
ඒ අනුව සිර දඬුවම විසි වසරකි. එක් චෝදනාවකට රුපියල් දෙලක්ෂය බැගින් ඔවුන්ට දඩ ද නියම විය. 2002 පෙබරවාරි 1 හා මැයි 20 අතර කාලයේ දිනක අස්ගිරියේදී ඇසිඩ් ගැසූ තෙවැනි විත්තිකාර මොහොමඞ් රාපික් , අඹන්වල මහතාට රුපියල් ලක්ෂ 50ක වන්දි ගෙවිය යුතු යැයිද වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන්නේ යැයි ද විනිසුරු ප්රකාශ කළේය.





