Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පොලීසියෙන් අනතුරු ඇගවීමක්..

චිත්‍රපට හා ටෙලි නාට්‍යවල රගපෑමට අවස්ථාවන් ඇති බවත් නර්තන කණ්ඩායම්වල නර්තනයේ යෙදීමට අවස්ථාව ඇති බවටත් විවිධ ආයතනවල රැකියා අවස්ථාවන් ඇති බවටත් මාධ්‍ය උපයෝගීකරගෙන දැන්වීම් පළකර කාන්තාවන් හා තරුණ ගැහැනු ළමුන් රවටා ඔවුන් නොයෙකුත් අපචාර ක්‍රියාවල යොදවා ගැනීම් පිළිබඳ තොරතුරු රැසක් ‍පොලීසිවලට වාර්තා වන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කරනවා.
ඒ සම්බන්ධයෙන් ඔහු මහජනතාව දැනුවත් කරමින් නිකුත් කළ නිවේදනය මෙසේය.

ඇතැම් පුවත්පත් හා අන්තර්ජාලය භාවිතා කරමින් අසත්‍ය දැන්වීම පළකර කාන්තාවන් මෙන්ම තරුණ ගැහැනු ළමුන්ද රවටා අපචාර ක්‍රියාවලට යොදවාගත් බවට පසුගිය කාලයේ ‍පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි ද ලැබි තිඛෙනවා.

එලෙස රැකියා අවස්ථා ඇති බවට පළකරනු ලබන බොහෝ දැන්වීම්වල සඳහන් පුද්ගලයින් හා ආයතනයන්ගේ ස්ථාවර දුරකථන අංකයන් නොමැති බවට අනාවරණය වී ඇති අතර ජංගම දුරකථන අංකයන් පමණක් සඳහන් වී තිබිම විශේෂ ලක්ෂණයකි.

කිසිදු සොයා බැලීමකින් තොරව රගපෑමට ඇති ආශාව හා ජනප්‍රිය වීමට ඇති ආශාව නිසා මෙවැනි වංචාකරුවන් පසුපස යන කාන්තාවන් සහ තරුණියන් අවසානයේදී වංචාකරුවන්ගේ ලිංගික ගොදුරු බවට පත්වේ.

තවද සම්භාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන යන ව්‍යාජ ආයතනවල රැකියා සඳහා යන බොහෝ කාන්තාවන්ද අවසානයේදී විවිධ ලිංගික අතවර වලට ලක් වී තම අනාගතය අඳුරු කරගන්නා අවස්ථාවන් බොහෝ සෙයින් වාර්තා වී ඇත.

එබැවින් කිසියම් කාන්තාවක් හෝ තරුණියක් මාධ්‍යවල පළකර ඇති දැන්වීම් අනුව චිත්‍රපට, ටෙලි නාට්‍යවල රගපෑමේ අරමුණින් අදාළ පාර්ශ්වයන් මුණගැසෙන්නේ නම් හෝ සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වන්නේ නම් එම ආයතන හා පුද්ගලයින් පිළිබඳ හොඳින් සොයා බලා එම ආයතනවල විශ්වසනීයත්වය හා එම පුද්ගලයින්ගේ අනන්‍යතාවයන් තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් එවැනි කටයුතුවල නිරත වන ලෙසට ‍පොලීසිය මහජනතාව දැනුවත් කර සිටී.

එමෙන්ම වෙනත් විවිධ රැකියාවන් සඳහා සම්මුඛ පරීක්ෂණයන්ට සහභාගි වීමට පෙර එම ආයතනයන්ගේ විශ්වසනීයත්වය පිළිබඳව තහවුරු කර ගැනීම හා වැඩිහිටියකු සමග අදාළ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වීමට කටයුතු කරන ලෙසට මෙයින් තවදුරටත් මහජනතාව දැනුවත් කෙරේ.

මෙවැනි වංචනික ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් හා ආයතන පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් වහාම ළගම ඇති ‍පොලිස් ස්ථානයට 119 ‍පොලිස් හදිසි ඇමතුම් අංශයට හෝ ‍පොලිස් මූලස්ථානය වෙත දන්වා සිටින මෙන් කාරුණිකව දන්වා සිටිමු.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us