
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ කාන්තා අංශ හිටපු නායිකාවක වන තමිලිනි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂිකාවක ලෙස ඉදිරියේ දී පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානමක් ඇතැයි වාර්තා වේ.
ඒ සඳහා අවශ්ය කටයුතු එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු ජගත් නායක කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. විසින් සිදුකරමින් සිටින බවට තොරතුරු අනාවරණය වේ.
මේ වනවිට වවුනියාව පුනරුත්ථාපන කඳවුරේ සිටින තමිලිනි නුදුරේදීම නිදහස්වීමට නියමිතව ඇති බව දෙමළ මාධ්ය වාර්තා කරයි.
එමෙන්ම එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්රබල සාමාජිකයන් වූ කුමරන් පද්මනාදන් හා එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු මාධ්ය ප්රකාශක දයා මාස්ටර් උතුරු පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන බව දැනටමත් ප්රකාශ කර තිබේ.
මෙලෙස හිටපු ප්රබල එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් නිදහස් සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ යළිත් එල්. ටී. ටී. ඊ. සංවිධානයට පණදීමට දැයි නොසිතා සිටිය නොහැක. උතුරේ බලය අත්පත් කරගැනීමට තවමත් ඔවුන් මාන බලන්නේ සිත් තුළ කුමන අදහසක් පෙරදැරි කොට දැයි කිසිවකු නොදනී.




