
මෙරට ප්රමුඛතම පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. ජාලයට රිංගා එක් දිනක පැය නවයක් තුළ ව්යාජ කේරඩිඩ්කාඩ් මගින් රුපියල් තුන්කෝටි විසි අට ලක්ෂ හැත්තෑ එක් දහසක මුදලක් වංචා සහගතව ලබාගත් ජාත්යන්තර කේරඩිට්කාඩ් ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්යාජ මුදල් විමර්ශන අංශය සමත්ව ඇත.
මෙරට ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුකර ඇති විශාලතම කේරඩිට්කාඩ්පත් වංචාව වන්නේ එයය. වංචාව 2012 වසරේ මැයි 20 වෙනිදා සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබි ඇත්තේ මැයි 29 වෙනිදාය.
ඒ.ටී.එම් යන්ත්ර 27 ක් මගින් මේ දැවැන්ත වංචාව ඔවුන් විසින් කර ඇත්තේ කොළඹත් කිලිනොච්චියේත් යාපනයේත් කණ්ඩායම් වශයෙන් රැඳී සිටිමින් බව අනාවරණය වී තිබේ.
ප්රංශයේත් කැනඩාවේත් වැසියන්ගේ කේරඩිට්කාඩ්පත් දත්තයන් සොරාගෙන එම කාඩ්පත්වලට සමාන කාඩ්පත් ව්යාජ ලෙස සකස්කර මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. ප්රංශයෙන් සහ කැනඩාවෙන් කේරඩිට්කාඩ්පත් දත්තයන් සොරාගනු ලබන්නේ යුද සමයේ මෙරටින් දේශපාලන රැකවරණය ඉල්ලාගොස් එම රටවල පදිංචිව සිටින කොටි හිතවාදීන් බවට සැකයක්ද පවතී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට මෙම ජාවාරමට සැකපිට සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් යාපනය, ධර්මපුරම්, වැල්වැටිතුරේ, පේදුරුතුඩුව, යාපනය යන ප්රදේශවල පදිංචිකරුවන්ය. මේ අය අතර කැනඩාවේ සහ ප්රංශයේ සිටි අයද සිටින බව අනාවරණය වී තිබේ. මොවුන් වංචා සහගතව ලබාගත් ඒ මුදල්වලින් රුපියල් කෝටි එකහාමාරකට ආසන්න මුදලක්ද සොයාගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්යාජ මුදල් අංශයට හැකිවී ඇත.
ජාවාරමට සම්බන්ධ මුල්ම සිව් දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් අප්රේල් 24 වෙනිදා බවත් ඒ අය අතර කාන්තාවක්ද සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. කොළඹදී අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සතුව තිබි ව්යාජ කේරඩිට් කාඩ්පත් 46 ක් සොයාගෙන ඇත. එම කාඩ්පත් මගින් බැංකුවලින් ලබාගත් රුපියල් දහනව ලක්ෂ අසූපන්දහසක මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම්වල තැන්පත්කර තිබියදී සොයාගන්නටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමත්ව ඇත.
එම සැකකරුවන් ඉකුත් 25 වෙනිදා අලුත්කඩේ අංක 03 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ජාවාරමේ ප්රධාන සැකකරු ඒ වන විට පලාගොස් සිටි බැවින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයෙන් යාපනයේදී ඉකුත් 28 වෙනිදා අත්අඩංගුවට ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්රශ්න කිරීමේඳී මඩකලපුව කලවංචිකුඩි හි සිටින ඔහුගේ අනියම් බිරිඳක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත. ඇයද මේ ජාවාරමට සම්බන්ධ බව විමර්ශන වලින් අනාවරණය වීමත් සමග ඇයවද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. ප්රධාන සැකකරු සතුව තිබි රුපියල් දහහතර ලක්ෂ අසූ හයදහස් හත්සියඅනූහතයි ශත හතළිහක මුදලක්ද බැංකු ගිණුම්වල තිබි රුපියල් අසූනව ලක්ෂ විසිහත්දහස්අටසිය එකොළහක් සොයාගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ප්රධාන සැකකරුත් ඔහුගේ අනියම් බිරිඳත් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටිති. මේ අය වංචා සහගතව ලබාගන්නා මුදල්වලින් කොටසක් යුරෝපයේ සහ ඇමරිකාවේ සිටින මෙම ජාවාරමේ ජාත්යන්තර ජාලයේ සාමාජිකයන්ට යවන බවද අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් ජාත්යන්තර පොලිසියේ සහයෙන් විමර්ශනයක් දැනටමත් ආරම්භකර ඇතැයි දැනගන්නට තිබේ.




