හිමිනමට පෙට්රල් දුන් අය සොයයි...
ගව ඝාතනයට විරෝධය පළ කරමින් මහනුවර දළඳා මාලිගාවේ වාහල්කඩ ඉදිරිපිට බෝධිය අසලදී පසුගිය වෙසක් පොහොය දිනයේ තම සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන්ට ඒ සඳහා ආධාර අනුබල ලබාදුන් බවට සැකපිට එම සිද්ධිය වීඞීයෝ කළ මාධ්යවේදීයා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම එම මාධ්යවේදීයා හිමිනම සිරුරට ගිනිතබා ගැනීමට පෙට්රල් වත්කරන විටත් එය වැළැක්වීමට මැදිහත් නොවී එය දිගින් දිගටම වීඞීයෝ කිරීම මෙයට අනුබල දීමක් බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි....
හිමියන් සිරුරට ගිනිතබා ගන්නා බවට වේලාසනින් එම මාධ්යවේදියාට පවසා ඇති බවත් ඔහු එය කිසිදු අයකුට නොපවසා පිරිසක් රැගෙන ගොස් වීඞීයෝ ගත කර ඇති බවත් එහිදී ඔහු එම හිමියන් සමග සිදු කරන දෙබස්වලට අනුව ඒ සඳහා අනුබල ලබාදී ඇති බවත් රහස් පොලිසි ආරංචි මාර්ග පවසයි.
මේ අතර බෝවත්තේ ඉන්ද්රරතන හිමියන්ට එදින පෙට්රල් සහිත කෑනය ලබාදුන් අය හා පෙට්රල් ලබාගත් ස්ථානය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ගයක් ගන්නා ලෙසට කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම මහතා ඊයේ (26 දා) මහනුවර පොලිසියට නියම කළේය.
අපවත් වී වදාළ බෝවත්තේ ඉන්දරතන හිමිපාණන්ගේ මරණ පරීක්ෂණය ඊයේ (26 දා) පැවැති අවස්ථාවේ ඒ මහතා එසේ නියම කළේය...මීට අමතරව උන්වහන්සේ සිරුරට ගිනි තබා ගත් ස්ථානය සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකර එම වාර්තාද උසාවියට ඉදිරිපත් කරන ලෙස ඒ මහතා පොලිසියට නියම කළේය.
අපවත් වූ හිමිනමගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු එම දේහය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවිය විසින් කහවත්ත, දකුණු පනාවැන්න ශ්රී සුගත විහාරවාසී රත්මලවින්නේ ධම්මරතන හිමිපාණන් වෙත භාරදෙනු ලැබිණි.
තවද පුජ්ය බෝවත්තේ ඉන්ද්රරතන හිමියන්ගේ අපවත්වීමෙන් පසු පාලකයන්ගේ දෑස් දැන්වත් ඇරේවා යයි ජාතික හෙල උරුමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන් විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ මීට පෙරද ආවේගශීලී අවස්ථා කිහිපයකදීම ඉන්ද්රරතන හිමියන් ජීවිතය පරිත්යාග කිරීමට ඉදිරිපත් වූ බවයි.





