
රත්නපුර මල්වල මීපිටිය ගම ප‍්‍රදේශයේ දී කළු ගගේ යාත‍්‍රා කරමින් සිටි ඔරුවක් පෙරලීමෙන් අතුරුදන් වූ තිදෙනාගෙන් එක් පුද්ගලයෙකු මෙතෙක් සොයාගෙන නොමැති බව පොලීසිය පවසනවා.
අනෙක් දෙදෙනාගේ මෘතශරීර අද පස්වරුවේ සොයාගත් අතර ඔවුන්ගේ මෘත ශරීර රත්නපුර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
අද උදෑසන සිදුවූ මෙම අනතුරෙන් අතුරුදන්ව සිටියේ එකම පවුලේ පියා, පුතා සහ දියණියයි. ඔවුන් අතරින් සොයා ගෙන ඇත්තේ 42 හැවිරිදි පියා සහ 14 හැවිරිදි දියණියගේ මෘත දේහයන්.
මෙතෙක් සොයා ගෙන නොමැති පුතා 19 වන වියේ පසුවූ අයෙක්. මීගමුව දෙහිමල්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් අවමංගල්‍ය නිවසකට පැමිණ ආපසු නිවස බලා යාමට ඔරුවකින් එගොඩ වන අවස්ථාවේ මෙම අනතුර සිදුවුණා.
එම අවස්ථාව වන විට ඔරුවේ 11 දෙනෙකු ගමන්ගත් බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ. ඔරුව පෙරළී ඇත්තේ ගමනාන්තය ආසන්නයේදී බවත් ඒ හේතුවෙන් පුද්ගලයන් 09 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බවත් ප‍්‍රදේශවාසීන් පවසනවා.
යම් හෙයකින් ගඟ මැදදී අනතුර සිදුවූයේ නම් තත්වය තවත් දරුණු වන්නට ඉඩ තිබූ බවයි ප‍්‍රදේශවාසීන් සඳහන් කළේ. අනතුරට ලක්ව දිවි බේරාගත් එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු රත්නපුර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා...