
සුරූපී බොලිවුඞ් රංගන ශිල්පිනියක වන ජීයා ඛාන් ගෙළ වැළලා ගැනීමෙන් මියගොස් තිබෙනවා.
මුම්බායි හී ඇයට අයත් නිවසේ වහලේ එල්ලෙමින් තිබියදී ඇයගේ සිරුර අද උදෑසන හමු වී තිබෙන බවයි ”ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” වෙබ් අඩවිය පවසන්නේ.
කෙසේවෙතත් බැලූ බැල්මටම සියදිවි හානි කරගැනීමක් ලෙස පෙනුණත් සැබෑවටම ඇය මියගොස් තිබෙන්නේ සියදිවි හානිකර ගැනීමකින්දැයි තවමත් තහවුරු කළ නොහැකි බව ඉන්දීය පොලීසිය පවසනවා.
සියදිවි හානිකරගන්නා බවට සඳහන් වූ කිසිදු ලිපියක්ද ඇය විසින් ලියා නොමැති බවයි පොලීසිය උපුටා දක්වමින් ” හින්දුස්ථාන් ටයිම්ස් ” වෙබ් අඩවිය කියා සිටියේ.
කෙසේවෙතත් ඇයට සමීප ආරංචි උපුටා දක්වමින් ”ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” වෙබ් අඩවිය පවසන්නේ මාස කිහිපයක සිට ඇය කිසියම් පීඩනයකින් පසු වූ බවයි. ඊට හේතුව පෞද්ගලික කාරණාවන් විය හැකි බවද එම ආරංචි ප‍්‍රකාශ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ නිවසේ මෙහෙකාරියගෙන්, මුරකරුගෙන් සහ අසල්වාසීන්ගෙන් ප‍්‍රශ්න කළ බවයි ඉන්දීය පොලීසිය වැඩිදුරටත් පවසන්නේ. මේ අතර මියයන විට 25 වන වියේ පසු වූ ජීහා ඛාන් බොලිවුඞ් සිනමාවට පිවිසියේ අබිතාබ් බචන් සමඟ රගපෑ ” නිශාබ්ඞ් ” චිත‍්‍රපටයෙන්.
”ගජිනි” චිත‍්‍රපටයේදී අමීර් ඛාන් සමඟ ද ”හවුස් ෆුල් ” චිත‍්‍රපටයෙදී අක්ෂේ කුමාර් සම`ගද රංගනයේ යෙදුණු ඇය වසර දෙකක් පමණ සිනමාවෙන් ඈත් වී සිටියා.
නිව් යෝර්ක්හි ඉපිද ලන්ඩනයේ හැදී වැඩී 2007 වසරේදී බොලිවුඩ් සිනමාවට පැමිණ තිබෙන මෙම නිළියගේ හදිසි අභාවය පිළිබඳව බොලිවුඩ් සිනමා රසියකයින් දැඩි සේ ශෝක වනබව සඳහන්ය.
