
මියගොස් ඇත්තේ 31 හැවිරිදි ගෝනපල පදිංචිකරුවකු හා 22 හැවිරිදි හෝමාගම පදිංචිකරුවන් දෙදෙනකි.
හෝමාගම සිට සෝමාවති පුද බිමට වන්දනා නඩයක් රැගෙන ගිය මාර්ග අංක 138 හයිලෙවල් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියෑදුරු හා සහායක මින්නේරිය වැවේ ගිලී මරුමුවට පත්වී තිබේ.
ඊයේ (03 වැනිදා) පස්‌වරු 2.00 ට පමණ මෙසේ දියේ ගිලී මරුමුවට පත් වී ඇත්තේ ගෝනපොල තලගල අඩවිකන්ද පදිංචිව සිටි කුරුප්පුආරච්චිගේ ලසන්ත කුමාර (31) නමැති බස් රියෑදුරු හා හෝමාගම මාගම්මන පදිංචිව සිටි බස සහායක ලසාන් චන්දික සුදසිංහ (22) යන මහත්වරුන් බවට මින්නේරිය පොලිසිය හඳුනාගෙන ඇත.
54 දෙනකුගෙන් සමන්විත වන්දනා නඩය රැගත් මෙම බස් රථය පෙරේදා (02 වැනිදා) අනුරාධපුරයට ගොස් ඇති අතර එහිදී එම නඩය එම පුදබිම වන්දනාමාන කර තිබේ.
පසුව නඩය ඊයේ (03 වැනිදා) පොලොන්නරුවට පැමිණ තිබේ.සෝමාවතිය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මෙම පිරිස දිය නෑම සඳහා මින්නේරිය වැවට පැමිණ තිබේ. එහිදී නඩය සමඟ බස් රියෑදුරු හා සහායක දිය නා ඇති අතර එහිදී ඔවුන් දියේ ගිලී ඇතැයි පොලිසිය පවසයි.
අතුරුදන් වූ රියෑදුරුගේ හා සහායකගේ සිරුරු සොයා පොලිසිය හා ප්‍රදේශවාසීන් මින්නේරිය වැවේ මෙහෙයුමක් අරඹා ඇත. පසුව සවස 4.00 ට පමණ දෙදෙනාගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.
මේ පිළිබඳව මින්නේරිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ටී. බී. ඩබ්. පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂකවරුන් වන ඒකනායක විමලසේන පොලිස් සැරයන් නිලවීර (27735) පොලිස් කොස්‌තාපල් නිමල් (20475) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.




