පැහැරගත් යාත්‍රාවෙන් ඕස්ට්‍රේලියාවට ගිය සංක්‍රමණිකයන් කියයි..
අපි යාත්‍රාව පැහැරගත් අවස්ථාවේදී ඒකෙ හිටපු ධීවරයෝ අපිව ඕස්ට්‍රේලියාවට අරගෙන යන එකට විරුද්ධ වුණා. ඒ නිසා එක් කෙනකුව කපල මුහුදට දැම්මා. තව කෙනෙක් ඒ එක්කම මුහුදට පැන්නා.
ඒ වෙලාවේ අනිත් අය කෑ ගහන්න ගත්තා.
ඒ කෑගැහිල්ලට මුහුදේ ඈතින් තිබ්බ ධීවර බෝට්ටුවල ලයිට් අපේ පැත්තට ඇල්ලූවා.
වැඩේ අවුල් වෙයි කියල හිතල අනිත් ධීවරයන් තුන් දෙනාටත් මුහුදට පනින්න කිව්වා. හැබැයි පැන්නෙ දෙන්නයි. ඒ නිසා පැන්නෙ නැති කෙනාට පිහි පහරවල් දෙක තුනක් ඇනලා මුහුදට විසිකළා.
මසුන් මැරීමට තංගල්ල කුඩා වැල්ලෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ඕස්ට්‍රේලියාව බලා ගමන් කිරීමට අනවසර සංක්‍රමණිකයන් පිරිසක් විසින් පැහැර ගැනීමත් සමග එහි සිටි ධීවරයන්ට සිදු වූයේ කුමක්දැයි මෙසේ හෙළි කරනුයේ එම යාත්‍රාවේ නැගී ඕස්ට්‍රේලියාවට ගිය අනවසර සංක්රමණිකයන්ය.
මෙරට රජය විසින් කළ දැනුම්දීමකට අනුව එම යාත්‍රාව සමග එහි ගිය පිරිස ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් එරට බලධාරීන් ඔවුන්ගෙන් 14 දෙනකු මෙරටට ඉකුත් 27 වෙනිදා පිටුවහල් කර එවන ලදී.
යාත්‍රාවක් පැහැර ගෙන ඕස්ට්‍රේලියාවට ගිය ගමන සංවිධානය කළ බවට හඳුනාගෙන සිටින ප්‍රධාන පුද්ගලයා වන නිහාල් එදිරිවීර නැමැත්තාව ඕස්ට්‍රේලියා පෙඩරල් පොලීසිය විසින් රඳවාගෙන පරීක්ෂණ පවත්වන බව සඳහන්ය.
මෙරටට පිටුවහල් කර එවන ලද 14 දෙනා අතර අඹු සැමි යුවළක් සහ දරුවන් තිදෙනෙක්ද සිටිති. එම සැමියා මෙයට පෙරද යාත්‍රාවක නැගී ඕස්ටට්රේලියාවට ගොස් ඇති අයෙකි.
ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ කාලයක් සිට ඇති ඔහුව එරටින් පිටුවහල් කළ පසු නැවත සිය අඹුදරුවන්ද සමග සංවිධාන ගතව මෙවර ඕස්ට්‍රේලියාවට ගොස් ඇතැයි පොලීසිය පවසයි. ඔහු අජිත් නිශාන්ත නැමැත්තෙකි.
මෙම යාත්‍රා පැහැර ගැනීමට යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ සිටි ස්කීපර්ද සම්බන්ධව ඇතැයි පොලීසිය කියයි. අජිත් කුමාර නොහොත් චණ්ඩි නැමැති ඔහුවද මෙරටට පිටුවහල් කර එවා ඇති අය අතර සිටියි.
ඉකුත් 14 වෙනිදා රාත්‍රියේ ධීවර යාත්‍රාව පැහැර ගෙන තිබුණු අතර ඊට එරෙහිවුණ සුරංග සංජීව නැමැති යාත්‍රාවේ සිටි ධීවරයාව කපා කොටා ගැට ගසා මුහුදට විසිකර තිබිණි ඒත් සමගම එම ධීවරයාගේ ඥාතියෙක් වූ රොෂාන් සුරනාත් නැමැති ධීවරයාද ජීවිතාරක්ෂාව පතා මුහුදට පැන තිබිණි
එම ධීවරයන් දෙදෙනා පැය හත අටක්ම මුහුදේ පාවෙමින් සිටියදී වෙළෙඳ නෞකා දෙකකින් ඔවුන්ව බේරාගෙන මෙරට නාවික හමුදාවට ගුවන් තරංග පණිවුඩයක් මගින් ඒ ගැන දැනුම්දී නාවික හමුදා යාත්‍රාවක් කැඳවා ඔවුන්ව නාවික හමුදාවට බාර දී තිබිණි
ධීවර යාත්‍රා පැහැර ගැනීමත් පැහැර ගත් යාත්‍රාව ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කර ඇති බවත් හෙළිවන්නේ එහිදීය. යාත්‍රාවේ සිටි අජිත් කුමාර නැමැති ස්කීපර්ද යාත්‍රාව පැහැර ගත් අය සමග එක්ව සිටි බව දිවි බේරාගත් ධීරවයන් පැවැසූ බැවින් සෙසු ධීවරයන් තිදෙනාට කුමක් සිදුවී දැයි මතෛක් පැවැතියේ ගැටලූවකි.
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ යාත්‍රාව පැහැර ගත් පිරිස පවසන ආකාරයට අනුව සෙසු තිදෙනාගෙන් මුහුදට පැන ඇත්තේ ප්‍රියන්ත ඉන්ද්‍රජිත් සහ දුලාන් චතුරංග යන ධීවරයන් දෙදෙනාය. කපා කොටා මුහුදට විසි කර ඇත්තේ කේ. එච්. සමන් නැමැති ධීවරයාය.
යාත්‍රාව පැහැර ගැනීමෙන් අනතුරුව යාත්‍රාව පැහැර ගත් පුද්ගලයන්ට මත්පැන් බිමට කට ගැස්ම පවා සකස් කර දී තිබුණේ සමන් නැමැති ධීවරයාය. ඔහු මුහුදට පැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා කපා කොටා මුහුදට විසිකර ඇතැයි හෙළි වී තිබේ.
එම ධීවරයන් තිදෙනා දියේ ගිලී මිය ගියේද නැතිනම් වෙනත් යාත්‍රාවක් මගින් බේරාගෙන තිබේද යන්න ගැටලූ සහගත බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
තංගල්ල කුඩාවැල්ල වරායෙන් මුහුදු ගිය තේජාන් බහුදින යාත්‍රාවේ සිටි ධීවරයන් පස් දෙනෙකුට අමානුෂික ලෙස වද හිංසා කර ඕස්ට්‍රේලියාව බලා ගිය පුද්ගලයන් 14 දෙනකු ඊයේ (29) තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේකා තුලානි ද සිල්වා මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
පිරිසෙන් අට දෙනෙකු පළමුවෙනි හදුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
උපුටාගැනීම - ලක්බිම - ගයාන් කුමාර වීරසිංහ, පසන් රාමවික්‍රම - මාතර