Update 11/27/2012 19:50 PM
එජාප මන්ත‍්‍රීගේ රියේ ගංජා අසුවේ...
අද උදෑසන රිය අනතුරකට ලක්වූ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චි මහතාගේ රථයේ තිබී ගංජා සහ ගිණි අවි සොයා ගත්තේ යයි පොලීසිය පවසයි. නිවේදනයක් නිකුක් කරමින් පොලීසිය මේ බව සඳහන් කරයි.
අනතුරෙන් තුවාල ලත් මන්ත‍්‍රිවරයා මාතර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.
පොලීසිය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.
2102-11-27 වන දින පැය 0325 ට පමණ හුංගම පොලිස් වසමේ තිස්ස මාතර ප‍්‍රධාන මාර්ගයේ වාඩියගල 207 KM කණුව අසල දි බස් රථයක මුහුණට මුහුණ ගැටි රිය අනතුරක් සිදුවි ඇත.
කතරගම ඩිපොවට අයත් ලංගම බස් රථය කොළඔ සිට කතරගම බලා ධාවනය වි ඇත. පෙජරෝ ජිප් රථය හුංගම සිට තංගල්ල දෙසට ගමන් කර ඇත. මෙම අනතුරින් එම ස්ථානයේ බස් රථයක් බලාපොරොත්තුවෙන් මාර්ගයේ රැඳී සිටි වයස අවුරුදු 39 වන වාඩියගල රන්න ලිපිනයේ පදිංචි සිරිල් නැමති අය බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් ඇත.
මෙම අනතුරින් ජීප් රථයේ ගමන් කළ හම්බන්තොට දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිලිප් වෙද ආරච්ච් මහතා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තංගල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
මෙම අනතුරින් පසු ජීප් රථය පරික්‍ෂාකිරිමේදි එහි තිබී
01. බෝර 12 අවි 01 යි.
02. රිවෝල්වර් 01 යි.
03. 3.8 ජිව උණ්ඩ 06 යි.
04. බෝර 12 ජිව පතුරම් 11 යි.
05. ගංජ ග්රෑම් 36 යි මිලි ග්රුම් 600 යි.
සමග ජිප් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන පොලිස් ආරක්‍ෂාව යටතේ දැනට තංගල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Update 11/27/2012 16:12 PM
මන්ත්‍රී වෙදආරච්චිට බරපතල නැහැ
තංගල්ල, වාඩිගල ප්‍රදේශයේදී අද අලුයම 3.30ට පමණ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චි මහතාගේ තත්ත්වය බරපතල නොවන බව මාතර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩී ආර්. එන්. සරණසිංහ මහත්මිය පැවසුවා ය.
ඇය වැඩිදුරටත් පැවසූවේ, මන්ත්‍රීවරයාගේ තත්ත්වය අධීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය කණ්ඩායමක් පත්කර ඇති බව ය.
අනතුරින් තුවාල ලැබූ අනෙක් දෙදෙනා ද තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍යවරිය පැවසුවාය.
මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ගමන් කළ රථය, බස් රථයක ගැටීමෙන් අනතුර සිදු වූ අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අනතුරින් ජීවිතක්ෂයට පත් විය.
Update 11/27/2012 08:32 AM
රිය අනතුරකින් මන්ත්‍රී වෙදආරච්චි ඇතුළු තිදෙනෙකුට තුවාල: අයෙකු මරුට...
තංගල්ල, රන්න, වාඩිගල ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චි ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.
අද අලුයම 3.30ට පමණ සිදූ වූ අනතුරින් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.
සිද්ධියෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා සහ අනෙක් පුද්ගලයන් දෙදෙනා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙදආරච්චි මහතා මාතර මහ රෝහලට මාරු කර යවා තිබේ.