
අදාළ ලියවිල්ලට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඒ අනුව එම දැනුම්දීම අද (13) පෙරවරුවේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ නිල නිවසට යැවීමට කටයුතු කර තිබේ.
අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු දෝෂාභියෝග යෝජනාව පසුගිය සිකුරාදා දිනයේ වැඩි ඡන්දයෙන් සම්මත විය.
එසේම ජනාධිපතිවරයා එකී ලියවිල්ලට අත්සන් තැබීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් ඊයේ (12) පස්වරුවේ හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා පවසයි.
මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය හෙට 14 දිනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.
හෙට පෙරවරු 10ට අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ සංජය ගමගේ මහතා සඳහන් කළේය.
ඊයේ රැස්වු ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ නියෝජිත සමුළුවේ දී ජනාධිපතිවරයා හමුවීමට තීරණය වී තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අදාළ ඉල්ලීම ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කළේය.
ඒ අනුව හෙට දිනයේ එම සාකච්ඡාව ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබේ.
අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය ජනාධිපතිවරයාට පැවරී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකිරීමට නියමිතය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව හෙට දිනයේ සාකච්ඡාව සඳහා සහභාගී වන බව සංජය ගමගේ මහතා සඳහන් කළේය.