පසුගිය සතියේ දිනක රාත්‍රී 7 ට පමණ කොළඹ නවලෝක රෝහල් පරිශ්‍රය තුළට විශේෂ අමුත්තෙක් රැගත් වාහන පේළියක් ඇතුලූ විය.
මෙම අමුත්තා රැගත් සුඛෝපභෝගී රිය රෝහලට ඇතුලූවීමේ දොරටුව අසල නතර කරනවාත් සමග ඔහුට ආරක්ෂාව සපයමින් ඉදිරියෙන් හා පසුපසින් පැමිණි ආරක්ෂක රථ වල සිටි ආරක්ෂකයෝ වහා සිය ජීප් රථ වලින් බැස මේ අමුත්තාව කිසිවෙකුටත් නොපෙනෙන සේ ආවරණය කරගනිමින් රෝහල තුළට රැගෙන යාමට කටයුතු කළහ.
මේ ආකාරයට නවලෝක රෝහල ඇතුළට ගිය මේ විශේෂ අමුත්තා කෙලින්ම ගියේ එහි තිබූ විදුලි සෝපාන අසලටය. විදුලි සෝපාන බිම් මහලට එනතෙක් මද වේලාවක් එහි සිටි මේ අමුත්තා පසුව ඊට ඇතුලූ වී තමාට යාමට අවශ්‍ය මහල දක්වන අංකය එබුවේය.
ඒ අංක 7ය. සිංගප්පූරුවේ සිට ප්‍රතිකාර ලබා මෙරටට පැමිණ සිටින අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාද නේවාසිකව රැදී සිටින්නේ නවලෝක රෝහලේ හත්වැනි මහලේය.
මේ ආකාරයට දුමින්ද සිල්වා රැදී සිටි මහලට පිවිසි විශේෂ අමුත්තා වූයේ අන් කවරෙකු නොව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය.
කෙසේ වෙතත් රනිල් දුමින්ද සිටි තැන්වලට ගිය පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද දුමින්ද සිංගප්පූරුවේ මවුන්ට් එළිසෙබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ද රනිල් සිංගප්පූරුව බලා ගොස් ඔහුගේ දුක සැප විමසා බැලීමට කටයුතු කළේය.
එදා ඒ ගමනට රනිල් සමග එක්වී සිටි අනෙක් තැනැත්තේ සාගල රත්නායකය.