ආරක්ෂාව නැති නම් ක්‍රීඩකයින් IPL යවන්නෙ නැහැ-මහින්දනන්ද
‘කච්චතිවු ඉන්දියාවට පවරාගනු’ – ජයලලිතා
ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්, විනිසුරුවරුන් හෝ වෙනත් සහයකයින් සහභාගී වන කිසිදු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයක් තමිල්නාඩුවේ පැවැත්වීමට අවසර නොදෙන බව මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මෙනෙවිය දැනුම් දී තිබේ..
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං මහතා වෙත ලිපියක් යොමු කරමින් තමිල්නාඩු මහ ඇමතිනිය මේ බව දැනුම් දී ඇති බවය.
තමිල්නාඩු ප්‍රාන්තය තුළ පැවැත්වෙන අයි.පී.එල්. ක්‍රිකට් තරග සඳහා ශ්‍රී ලාංකිකයින් සහභාගි නොකරන ලෙසට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මාර්ගයෙන් තරග සංවිධායකයින් දැනුවත් කරන ලෙස ද ජයලලිතා ජයරාම් ඉල්ලීමක් කර තිබේ.
ඇය එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලාංකිකයින් සහභාගි නොවන බවට තහවුරු කළහොත් පමණක් තමිල්නාඩුවේ තරග පැවැත්වීමට අවසර දෙන බවය.
මේ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සභාපති රජිව් ෂුක්ලා එන්.ඩී.ටී.වී. රූපවාහිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, චෙන්නායිහිදී පැවැත්වෙන තරග සඳහා පමණක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහභාගි කර නොගැනීමට අවධානය යොමුව ඇති බවය.
වෙනත් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන තරග සඳහා මෙය බල නොපාන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා ගිවිසුම් අත්සන් කර සිටින නුවන් කුලසේකර සහ අකිල ධනංජය එම කණ්ඩායමෙන් ඉවත් කිරීමට එහි කළමනාකාරීත්වය සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට ආරක්ෂාව ලබාදිය හැකි ද යන්න පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉන්දීය මධ්‍යම රජයෙන් විමසා ඇති බවය.
මෙම තත්ත්වය මත ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරය කිරීමේ දී අවධානයෙන් පසුවන ලෙස මෙරට රජය ජනතාවට ඉල්ලා තිබිණි.
මේ අතර ලබන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වර්ජනය කරන ලෙස එතුමිය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
බී.බී.සී. පුවත් සේවය පැවසුවේ, අගමැති මං මෝහන් සිං වෙත ලිපියක් යොමුකරමින් තමිල්නාඩු මහ ඇමති ජයලලිතා ජයරාම් එම ඉල්ලීම කර ඇති බවය.
සමුළුව වෙනත් රටකට මාරු කරන මෙන් ඉන්දීය ආණ්ඩුව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටිය යුතු බව ද ජයලලිතා ජයරාම් අදාළ ලිපිය මගින් ඉල්ලා තිබේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව කිසියම් ආකාරයකින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ නම් එයට ඉන්දියාව සහභාගි වීමෙන් වැලකී සිටිය යුතු බව ඇය එම ලිපියෙන් අවධාරණය කර තිබේ.
මේ අතර සිය පක්ෂ සමුළුවේදී යෝජනාවක් සම්මත කළ මුතුවේල් කරුණානිධිගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය ද පවසන්නේ ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවගෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට එල්ල වන විරෝධය පෙන්වා දීම සඳහා ඉන්දියාව එම සමුළුව වර්ජනය කළ යුතු බවය.
තවද ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් තමිල්නාඩු ධීවරයන්ට සිදුවන හිරිහැර නිසා වහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති කරගෙන ඇති ගිවිසුම අවලංගු කර කච්චතිව් දූපත නැවැත ඉන්දියාවට පවරාගත යුතු යැයි තමිල්නාඩු මහ ඇමැතිනිය ඉන්දීය මධ්‍යම රජයට දන්වා තිබේ.
වර්තමානයේ තමිල්නාඩු ධීවරයන් කච්චතිව් දූපත අසල මසුන් මැරීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම් හා පහරදීම් සිදු කළ බව විටින් විට ඔවුහු චෝදනා කළහ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අද ප්‍රාන්ත ආණ්ඩුවේ පැවති විශේෂ රැස්වීමකදී තමිල්නාඩු මහ ඇමතිනිය මේ අදහස් පළ කළ බවය.ඉන්දීය ධීවරයින්ට හිරිහැර සිදුවන බවට අවධාරණය කරමින් මෙම විශේෂ රැස්වීම පවත්වා තිබිණ.
එහිදී මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මෙනෙවිය පැවසුවේ, කච්චතීව් දිවයින යළි පවරා ගැනීමට ඉන්දීය රජය අසමත් වුවහොත් තමිල්නාඩු රජය ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවය.1974 වසරේදී ගිවිසුමක් හරහා කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට පවරා දෙනු ලැබී ය.අක්කර 285ක භූමි ප්‍රමාණයකින් යුත් කච්චතීව් දූපත ශ්‍රී ලංකා- ඉන්දියා මුහුදු සීමාවේ පිහිටා තිබේ.