එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා හා එල්ටීටීඊ හිටපු නායක වේළුපිල්ලේ ප්රභාකරන් අතර 1987 වසරේදී සිදුවූ ලක්ෂ 50ක රහස් ගනුදෙනුවක් වසර 26කට පසුව හෙළි වී තිබේ.
මේ බව හෙළි වී ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිවරයා එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යවන ලද කේබල් පණිවුඩයකිනි..'විකිලීක්ස්' වෙබ් අඩවිය විසින් හෙළි කරන එම කේබල් පණිවුඩය 1988 අප්‍රේල් 5 වැනිදා යවා ඇති අතර එම මුදල් එල්ටීටීඊය වෙත ලබාදුන් බව තහවුරු කර ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ ජේ.එන්. ඩික්සිත් මහතාය.
ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා හා ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අතර ගිවිසුම අස්සන් කිරීමට පෙර රජීව් ගාන්ධි මහතා හා එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් අතර සිදුවූ රහස් සාකච්ඡාවකදී එල්ටීටීඊය ගිවිසුමට එකඟ කරගැනීම සඳහා එල්ටීටීඊ නායකයාට ගාන්ධි මහතා ලබාදුන් පොරොන්දු අතරින් එකක් ලෙස මේ රුපියල් ලක්ෂ 50ක මුදල සලකන බව නම හෙළි නොකළ තවත් එල්ටීටීඊ නායකයකු පවසා තිබේ.
ගාන්ධි මහතා ප්රභාකරන්ට දුන් එම පොරොන්දුවට අමතරව උතුරු - නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කර තනන අන්තර්වාර පළාත් සභාවේ මන්ත්‍රි ආසන 12න් 7ක් එල්ටීටීඊයට ලබාදෙන බවටත් එම අන්තර් වාර පළාත් සභාව හරහා උතුරේ සංවර්ධනය සඳහා රුපියල් බිලියනයක් ලබාදීමටත් එකඟවී ඇත.
මව්බිම
සංජය දසනායක