විමර්ශන නිමවනතුරු බුද්ධගයාවට එන්න එපා...
ශ්‍රී ලාංකිකයන්ට හානියක් නෑ...
මහබෝධියෙත් බෝම්බයක්...
තුවාල ලැබුවේ තායි-ටිබෙට් හිමිවරු...
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ පිහිටි මහාබෝධි විහාරස්ථානය වෙත ඊයේ (7) අලුයම එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාවකින් හිමිවරු දෙනමක් සහ තවත් පුද්ගලයෝ තිදෙනක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මේ සිද්ධියෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් නොමැති අතර මහාබෝධි විරාස්ථානයටද කිසිඳු හානියක් නොමැති බවද අදාළ බෝම්බ පිපිරීම් සිදුව ඇත්තේ එම විහාරස්ථානය ආසන්නයේ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කිසියම් පිරිසක් විසින් එල්ල කරන ලද මේ ප්‍රහාරයේදී බෝම්බ පහක් පුපුරා ගොස් තිබෙන අතර එම ස්ථානයේ තිබී පුපුරා නොගිය බෝම්බයක් නිෂ්ක්‍රිය කළ බවට බිහාර් ප්‍රාන්ත පොලීසිය ප්‍රකාශ කළ බවද වාර්තා වෙයි.
කෙසේ වුවද මේ බෝම්බ අධිබලැති ඒවා නොවන බවට ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි. මෙහිදී තුවාල ලබා ඇත්තේ තායාලන්ත හිමිනමක් සහ ටිබේට් ජාතික හිමිනමක් බව මහාබෝධි විහාරාධිපති හපුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා වෙත දැනුම්දුන් බවද ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පැවසීය.
මේ බෝම්බ පිපිරීම් සිදුවන අවස්ථාවේදී එම විහාරස්ථානයේ විශාල බැතිමතුන් පිරිසක් නොසිට ඇති අතර මහාබෝධි විහාරස්ථානයට විශාල හානියක් සිදුවී නොමැති බවද මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් බැතිමතුන් විශාල පිරිසක් නොපැමිණෙන හෙයින් සිදුවන්නට තිබූ අනතුරක් වළක්වා ගැනීමට හැකිවූ බවද පූජ්‍ය සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.
මේ සිද්ධිය වීමත් සමඟ එම ස්ථානයට පැමිණි බිහාර් ප්‍රාන්තයේ මහ ඇමැති නිටිෂ් කුමාර් මහතා අදාළ සිදුවීම සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශකර තිබේ.
ඉන්දීය රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරින් හා රස පරීක්ෂකවරු එම ස්ථානයට පැමිණ දැනටමත් පරීක්ෂණ ආරම්භ කැර ඇති බවද කඩිනමින් ක්‍රියාත්මක වූ ඉන්දීය ආරක්ෂක අංශ එම ස්ථානයට ළඟා වී පරීක්ෂණ ආරම්භ කර ඇති බවද වාර්තා වෙයි.
ආරක්ෂක හේතූන් මත එම විහාරස්ථානය තාවකාලිකව වසා දැමීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන අතර ඒ වෙනුවෙන් අතිරේක භට පිරිස් යොදවා තිබෙන බවද වාර්තා වෙයි.
මහබෝධි විහාරස්ථානය බිහාර් ප‍්‍රාන්තයේ ඇති බෞද්ධ සැදැහැවතුනේගේ නොමඳ ගෞරවයට පාත‍්‍ර වු ප‍්‍රධාන ස්ථානයක් මෙන්ම සංචාරක ආකර්ශනයද වැඩි වශයෙන් දිනාගත් විහාරස්ථානයක් වන අතර එය පසුගිය 2002 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම පූජනීය ස්ථානයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව වැඩිම කලක් වැඩසිටි විහාරස්ථානයක් වශයෙන්ද මේ විහාරස්ථානය හැදින්වෙයි.