Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

"ඊළඟට උඹේ ගෑණිව ලැහැස්ති කර ගනින්" - කොටකෙතනට පණිවිඩයක් ඇවිත්.
කහවත්තේ හාමුදුරුවෝ දිහා බලන්නෙත් අමුතු විදිහට.
වධ සේරම දීලා ඇඟේ නූල් පොටක්‌ නැති කරන එකනෙ ඉවසන්න බැරි.

කොටකෙතනේ ඝාතන පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණ සඳහා සහාය ලබා දෙන ගම්වැසියන්ට "ඊළඟට උඹේ ගෑණිව ලැහැස්ති කර ගනින්" යන පණිවිඩය ලැබෙන බව වාර්තා වනවා. එහෙත් අදාළ පණිවිඩය ලබා දෙන පුද්ගලයන් හසුකර ගත නොහැකි බවයි ගම්වැසියන් පවසන්නේ.
කොටකෙතන ලංකාවේ අද වන විට ජනප්‍රියව ඇත්තේ තනිපංගලමේ සිටින ගැහැණුන්ව බිලගන්නා 'මරණ ගමක්‌' ලෙසයි.
මේ අඳුරු දසාව උදාවන්නේ මීට වසර හතකට ඉහත සිටයි. එනම් 2008 අවුරුද්දේ ජුලි 21 වැනිදා පනස්‌ හය වියෑති සෙල්ලයියා මාරියා නම් කන්තාව කෲර ලෙස කපා කොටා ඝාතනය කිරීමත් සමඟයි.


එතැන් සිට ඇරඹෙන ඝාතන වැලට මිනී මරුවෝ විටින් විට පුරුක්‌ ලෙයින් ගෙත්තම් කළහ. ඒ මිනී වැලේ දහ හත්වැනි පුරුක ලෙස පසුගියදා කාන්ති ඇයගේම පුතා විසින් අමානුෂික අයුරින් කපා කොටා ඝාතනය කර කොටකෙතන ඇළේ සඟවා තිබුණා.එයින් පැහැදිලි වන්නේ කොටකෙතන 'මරණ ගමක්‌' කළ ඝාතකයන්ගේ දෙවැනි පරම්පරාවත් දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
මේ සටහන කොටකෙතනේකාන්තිගේ මරණයට පසු ගම මුහුණ දෙන සත්‍ය තත්වය පිළිබඳවයි.

කහවත්ත නගරයෙන් වැටී ඇති කොටකෙතන මාර්ගයේ ටික දුරක්‌ යන විට මුණගැහෙන්නේ කහවත්ත සෘෂිනිකේතන පිරිවෙන් විහාරස්‌ථානයයි. කොටකෙතන ගම්මු වැඳුම් පිදුම් කරන පන්සල ද එයයි. කොටකෙතන ගමේ ව්‍යසනකාරී තත්ත්වය ගැන ප්‍රථමයෙන් කතා කළ යුත්තේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ වන ශාස්‌ත්‍රපති පූජ්‍ය කහවත්තේ සේනින් ස්‌වාමීන් වහන්සේ සමගය.

''කොටකෙතන බොහෝම ලස්‌සනට තිබුණු ගමක්‌. ගම විනාශ වුණේ කසිප්පු ව්‍යාපාරයත් එක්‌ක. මේ ඝාතන රැල්ල නිර්මාණය වෙන්නෙත් මත්ලෝලීන් නිසා. ඒත් කොටකෙතන ගමේ කිහිප දෙනෙක්‌ වනචාරීන් විදිහට හැසිරුණාට හැමෝම එහෙම නෑ. වැදගත්, බුද්ධිමත් අය වගේම හොඳ ව්‍යාපාරිකයන් ජීවත් වෙනවා. මේ ගම විනාශ කරන්නෙත් පවුල් කිහිපයක්‌. ඒත් ඒක මුළු ගමටම කරන විශාල හානියක්‌. අපි වෙනත් පන්සලකට වැඩමකළත් 'මේ කහවත්තේ හාමුදුරුවොනේ' කියලා අපි දිහා බලන්නෙත් අමුතු විදිහට...''

කොටකෙතන ආලෝකවත් කරන පාසල පිහිටා ඇත්තේ ගම මැද කඳු ගැටයක්‌ මතය. එහෙයින් පාසල් භූමියට මුළු ගමම හොඳින් දර්ශනය වේ. කුඹුරු යාය, ඊට ඉහළින් රබර් වතු, තේ වතු, ගමේ සශ්‍රීකයත්වය, සුන්දරත්වය මනාවට දර්ශනය වේ. ගමේ පාසල මහා විශාල එකක්‌ නොවුව ද, පාසල් භූමිය සොබාසිරියෙන් පිරුණු තැනකි. එහෙත් ගමේ සුන්දරත්වය යටින් ගලා යන ප්‍රචණ්‌ඩත්වය නිසා කොටකෙතන පාසලට ගුරුවරු එන්න අදිමදි කරන බව පාසලේ ගුරුවරු පැවසූහ.

''පිට පළාත්වල ගුරුවරු එන්නේ නැති නිසා පාසල පවත්වාගෙන යැමේදී ගැටලු මතු වෙනවා. මේ පාසලට දාපු සමහර ගුරුවරියන් පත්වීම භාරගන්නවත් ආවේ නෑ. මේ ළඟදී මිස්‌ කෙනෙක්‌ ආවා. ඒ ඇවිත් සතියක්‌ ගියේ නෑ මේ සිද්ධිය වුණා. දැන් ඒ මිස්‌ හොඳටම බය වෙලා.ඉස්‌සර නම් ගමේ ඔහොම මරණයක්‌ වුණහම මුළු ගමම එකතු වෙලා හොයනවා. මේ සිද්ධියේදී ගමේ ගොඩක්‌ම අය එළියටවත් ආවේ නෑ. ගමේ රාවයක්‌ යනවා වැඩියෙන්ම උදව් කරන්න යන අයටත් 'ඊළඟට ගැනීව ලෑස්‌ති කරලා තියපං' කියලා අනතුරු ඇඟවීම් කරනවා කියලා. ඒ නිසා ගමේ අය මේ ගැන කතා කරන්නෙත් නෑ.පොලිස්‌ පරීක්‍ෂණවලින් ඔප්පු වෙන විදිහට මරණවලට විවිධ හේතු තියෙනවා. ඒත් කපා කොටා මරන්නේ එකම විදිහට...''

'' ගමේ ගෑණු කොටකෙතන ඇළේ නිරුවතින් නානවා කියලා ප්‍රකාශ කරලා තිබුණා. අපි පුංචි කාලේ ඉඳලා මේ ගමේ හැදුණේ වැඩුණේ. එහෙම සිද්ධි නම් අපිට දැන ගන්න ලැබිල නෑ''.

ගමේ පාසලේ ගුරුවරියන් සේම කොටකෙතන බොහෝ කාන්තාවන් ඔවුන්ගේ හදවත්වල පොපියන වේදනාව වචන කිරීමට මැළි වූහ. ඒ අතර මරණ බියට අභියෝග කරන කාන්තාවන් දෙදෙනකු කතා කළහ. එකම නිවසක කතා බහ කරමින් සිටි කාන්තාවන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ විමලාවතීය. අනෙක්‌ කාන්තාව නන්දාවතීය.

''දැන් කාලෙක ඉඳලා අපේ පවුලේ අය රෑට නිදාගන්න එක ගෙදරකට එකතු වෙනවා. දවාලට ගෙදර හිටියත් කවුරුවත් නැති නම් ගෙදර වැඩ කරන්නේ දොරවල් වහගෙන. මේ පපුවේ පත්තුවෙන ගින්දරට බිත්තර සීයක්‌ වුණත් තම්බන්න පුළුවන් මහත්තයො...'' විමලාවතී පපුවට අත ගසා එසේ කියන්නීය.

කොටකෙතන ගම පුරා ඇවිද ගිය ද දොර පියනක්‌ හැරුණු නිවසක්‌ දකින්නේ කලාතුරකිනි. එමෙන්ම මහ මඟ ගමන් කරන කාන්තාවන් හැරෙන්නට ගෙවතුවලදී කාන්තාවන් ඇසගැසුණේ කලාතුරකිනි.

''මැරුවත් කමක්‌ නෑ. මරලා ගෙදර දාලා පලයන්. දෙන්න තියෙන දස වධ සේරම දීලා ඇඟේ නූල් පොටක්‌ නැති කරන එකනෙ ඉවසන්න බැරි. ගමේ මරපු හැම කෙනෙක්‌ම නිරුවත් කරලා තිබුණේ...'' විමලාවතීගේ කතාවට නන්දාවතී එසේ අඩු වැඩිය එකතු කළාය.

'කළුවර වැටෙනකොට කාපු ටික පිච්චිල යනවා. එළිය වැටෙනකම් විශ්වාසයක්‌ නෑ. දැන් නම් අපිට ගම එපා වෙලා. පිට ගමකින් කොල්ලෙකුට ගෑනියෙක්‌ දෙන්නෙත් නෑ. අපේ පුතාට දැන් අවුරුදු ගානක ඉඳල කසාදයක්‌ හොයනවා. කේන්දර හොඳට ගැලපෙනවා... ඒත් ගම කොටකෙතන කියලා කැමති වෙන්නේ නෑ... දවසක්‌ මම බෙහෙත් ගන්න ගිහිල්ලා කොටකෙතන කිව්වහම ඒ ඩොක්‌ටර් අහනවා 'ඇයි අම්මේ ඔයාව ඉතුරු වුණේ' කියලා...'

කොටකෙතන යනු මහ විශාල ගමක්‌ නොවේ. ඡන්ද එක්‌දහස්‌ හත්සීයක්‌ වැනි ඡන්ද පෙට්‌ටියකට උරුමකම් කියන පුංචි ඡන්දබල ප්‍රදේශයකි. එහෙත් කොටකෙතන ගමේ මිනිසුන් විඳවන කරුමය මහමෙරටත් වැඩිය. එසේ විඳවන කොටකෙතන ගම පිහිටා ඇත්තේ වෙනත් කොදෙව්වක නොවේ, මෙරටේමය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us