
රහස් පොලිසිය සැක පළ කරයි
ප්රශ්න කිරීමෙන් පසු අධිකරණයට..හදිසියේ අසනීප වී ජාතික රෝහලට...
කොළඹ මහ නගර සභා මන්ත්රී අසාත් සාලි මහතා විදෙස් මූලධර්මවාදී ත්රස්ත කණ්ඩායම් සමඟ යම් සම්බන්ධයක් පැවැත්වූයේද යන්න පිළිබඳ රහස් පොලිසිය සැක කරයි.
පෙරේදා (02) පෙරවරුවේ අත්අඩංගුවට ගත් අසාත් සාලි මහතා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්රශ්න කරන බව රහස් පොලිසිය පවසයි.
විවිධ ජනකොටස් අතර ආගම්වාදී හා ජාතිවාදී ආරවුල් ඇතිවන පරිදි කතා පැතිරවීම, පවතින ආණ්ඩුවට විරෝධතාවය දක්වමින් එවැනි ජාතිවාදී අදහස් පැතිරවීම ඇතුළු පැමිණිලි කීපයක් මත මොහු පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
අසාත් සාලි මහතා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර, ජාතිවාදී හැඟීම් අවුස්සා නැවත ත්රස්තවාදය යම් ආකාරයකින් පැතිරවීමට හෝ ඇතිකිරීමට මොහු උත්සාහ කරන්නේ ද, ඊට උදව් ගැනීමට යම් යම් විදෙස් ත්රස්ත කණ්ඩායම් හා සම්බන්ධතා පවත්වන්නේ ද යන්න පිළිබඳ මොහුගෙන් තවදුරටත් ප්රශ්න කරන බව රහස් පොලිසිය කීය.
ත්රස්ත විරෝධී පනතට අනුව පැය හතළිස් අටක් රඳවා ගනිමින් ප්රශ්න කෙරෙයි. ඉන්පසු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
අසාත් සාලි මහතා හදිසි අසනීප තත්ත්වයක් හෙතුවෙන් ඊයේ (3) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්ය ප්රකාශක බුද්ධික සිරිවර්ධන මහතා ප්රකාශ කෙළේය. අසාත් සාලි මහතා පෙරේදා (2) උදෑසන කොලොන්නාවේ පිහිටි සිය දියණියගේ නිවසේ සැගව සිටියදී රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගැනිණි.
අසාද් සාලි මහතා කොළඹ මහ නගර සභාවේ හිටපු නියෝජ්ය නගරාධිපතිවරයෙකු වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ මහ නගර සභා මන්ත්රීවරයෙකු ලෙසද කටයුතු කළේය...පසුව අසාද් සාලි මහතා එම මන්ත්රීධූරයෙන් ඉල්ලා අස්වී මුස්ලිම් කොංග්රසයෙන් නැගෙනහිර පළාත් සභාවට තරග කරනු ලැබුවේය.




