ව්‍යාපාරිකයකුගේ ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවක්..
ඝාතනයෙන් පසු පොරොන්දු මුදල ගෙවා නැහැ..
නි. පොලිස්පති වාස් ගෙනුත් කටඋත්තර ගනී..
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් අබිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය ඊයේ (6) පොලිස් නිලධාරීන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී ඝාතනයට ලක් වූයේ වැල්ලවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ සපත්තු ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැති තිදරු පියෙකි.මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කටඋත්තර ලබා ගත් බව. පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන මහතා පැවසිය.
රුපියල් ලක්ෂ තිහක කොන්ත්‍රාත්තුවක් මත මේ ඝාතනය සිදු කර තිබෙන බවට පොලිසිය කළ මූලික පරීක්ෂණ මඟින් හෙළිවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිලධාරීන් සිව් දෙනා නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් බව කියයි.
ඉකුත් මස 21දා මේ ඝාතනය සිදු කර තිබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. මෙම ඝාතනය සඳහා පොලිස් නිලධාරීන් පිරිසකට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇත්තේ ෆවුප්ඩීන් නමැති බම්බලපිටිය ප්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයෙකි.ඝාතකයන්ට මුලින් රුපියල් ලක්ෂ පහක් ලබාදී ඇති අතර ඝාතනය සිදු කිරීමෙන් පසු ඉතිරි රුපියල් ලක්ෂ විසිපහ ලබාදෙන බවට පොරොන්දු වී තිබේ.
ඝාතනයෙන් පසු එම මුදල අදාළ අය වෙත පොරොන්දු වූ ව්‍යාපාරිකයා ගෙවා නැති බවට පොලිස් පරීක්ෂණ මඟින් හෙළිව ඇත.
ෆවුප්ඩීන් මහා පරිමාණයෙන් උණ්‌ඩියල් මුදල් ගනුදෙනුවල (නීති විරෝධී) යෙදෙමින් ව්‍යාපාර කළ පුද්ගලයෙකි. මොහු ෂියාම්ගෙන් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් ණයට ලබාගෙන තිබූ බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
එම ණය මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ තැන ෆවුප්ඩීන් සිය මිතුරා වූ ෂියාම් ඝාතනය කිරීම සඳහා සැලසුමක් සකස් කර ඇත.
ඉකුත් 21 වැනිදා ෆවුප්ඩීන් සිය මිතුරා වූ ෂියාම්ද කැටිව නුගේගොඩ ප්‍රදේශයට ගොස් ඇත්තේ හදිසි අවශ්‍යතාවකට යෑයි කියමිනි. එහිදී ෆවුප්ඩීන් සිය මිතුරා ඝාතක කල්ලියට භාරදී හොර රහසේම එම ස්‌ථානයෙන් පැනගොස් තිබේ.
ඝාතක කල්ලිය ෂියාම් රැගෙන ගොස් කෲර වධහිංසා පමුණුවා ඔහු ඝාතනය කර සිරුර දොම්පේ ප්‍රදේශයේ ඝන කැලෑවක දමා පලා ගොස් තිබිණි.
ෂියාම්ගේ පවුලේ සාමාජිකයන් ඔහු සෙවීමට පටන් ගෙන ඇත්තේ ඉන් පසුවය. සිය මිතුරා අතුරුදන්ව ඇති බව කියමින් සැකකාර ෆවුප්ඩීන් ද ඔහු සොයමින් පොලිස් ස්‌ථාන කීපයකට ගොස් ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය විය.
ඝාතනයට ලක් වූ ෂියාම්ගේ සිරුර ඥතීන් විසින් සොයා ගත්තේ ඉකුත් 31 වැනිදාය. ඒ දොම්පේ ප්‍රදේශයේ රෝහලක මෘත ශරීරාගාරයක තිබියදීය.
මේ අතර මිරිහාන පොලිසියේ තිබී ෂියාම්ගේ මෝටර් රථයද ඥතීන් විසින් හඳුනාගෙන තිබිණි. පොලිසිය එය සොයාගෙන තිබුණේ නුගේගොඩ ප්‍රදේශයේ මාර්ගයක් අසල අතහැර දමා තිබියදීය. මේ අතර එම වාහනය අතහැර දමා තිබූ ස්‌ථානය ආසන්නයේ පිහිටි ආයතනයක සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක (සීසීටීවී) සටහන්ව තිබූ තොරතුරු ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් ෆවුප්ඩීන් අත්අඩංගුවට ගනු ලැබීය.
ෆවුප්ඩීන් සිය මිතුරා සමග පැමිණ ඔහු ඝාතන කණ්‌ඩායම වෙත භාරදෙන ආකාරය ආරක්‍ෂිත කැමරාවේ සටහන්ව තිබී ඇත.
පසුව මෙම අබිරහස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කරනු ලැබීය.
ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ඉකුත් දා අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂණයේදී සැකකාර පොලිස් නිලධාරීන් පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට හැකිවූ බව රහස් පොලිසිය කියයි.
උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරු තිදෙනෙක් අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බව රහස් පොලිසිය කීය.
ඝාතන පරීක්ෂණ මුලින්ම කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරී තිබුණු අතර පසුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීය. මේ අනුව පෙරේදා (5) එක් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන හෙළිවූ තොරතුරු අනුව ඊයේ (6) අනෙක් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී මතුරට මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.