
වාස් ගුණවර්ධන ජුලි 9 වනදා තෙක් නැවත රිමාන්ඩ්...
බම්බලපිටියේ කෝටිපති ව්යාපාරිකයකු වන මොහොමඩ් සියාම් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර නිලධාරින් විසින් අද (25) ප්රථමවරට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි...
අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන මස 9 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කළේය.
එසේම අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කළ බව කියන වාස් ගුණවර්ධන මහතාගේ බිරිදටද ජූලි 09 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.
වාස් ගුණවර්ධන මහතා ඉකුත් (10) රාත්රී 9.45ට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, පැය 72ක අධිකරණ රැඳවි භාර නියෝගයකට අනුව රහස් පොලිසියේ රඳවා ප්රශ්න කළේය.
රහස් පොලිසියේ රැඳවුම්භාරයේ සිටි වාස් ගුණවර්ධන මහතා හදිසියේ ඉකුත් (13) රෝගාතුරවීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 72 වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලැබූහ.
එදින එම රෝහල වෙත ගිය කොළඹ අතිරේක මහේස්ත්රාත් මොහොමඩ් සහබ්දීන් මහතා සැකකරු විශේෂ බන්ධනාගාර ආරක්ෂාව සහිතව මේ මස 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳට ජුලි 9 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද අතිරේක මහේස්ත්රාත්වරයා එහිදී නියෝග කර තිබේ. ඒ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට කරනු ලැබූ දැනුම් දීමකට අනුවයි.
බම්බලපිටියේ කෝටිපති ව්යාපාරිකයකු වන මොහොමඞ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්රණය කිරීමේ චෝදනාව මත වාස් ගුණවර්ධන ඇතුළු 7දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
තවද ඝාතනය කළ මොහොමඩ් සියාම් නමැත්තා භාවිතා කළ ජංගම දුරකථනය කොළඹ ඛෙත්තාරාමයේ කුණු ඇළක තිබී හමුවුවද එහි සිම්පත මෙතෙක් හමුවී නොමැති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව සියාම් නමැත්තාගේ ජංගම දුරකථනය පෙරේදා (23) කොළඹ ඛෙත්තාරාමයේ කුණු ඇළක තිබී නාවික හමුදා කිමිදුම්කරුවන් සොයාගනු ලැබීය.
ඝාතනයට ලක්වූ සියාම්ගේ මිතුරකු එම දුරකථනය රියැදුරුට භාරදී ඇති අතර ඔහු එම දුරකථනය කැබලි 3 කට කඩා මෙම කුණු ඇළට විසි කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු මෙම ජංගම දුරකථනය සොයා ගනු ලැබීය.
මේවන විට වැඩ තහනමට ලක්ව ඇති හිටපු නියෝජ්ය පොලිස්පතිවරයා මිනිස් ඝාතන, පැහැරගැනීම්, කප්පම් ගැනීම් ඇතුළු තවත් අපරාධ ගණනාවකට සම්බන්ධ බවට මූලික පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.





