
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා රුපියල් ලක්‍ෂ විස්සක අල්ලසක් ඉල්ලා එයින් කොටසක් ලෙස ලක්‍ෂ 15ක් ලබාගන්නා අවස්ථාවේදීම ඊයේ (05) පස්වරුවේ අල්ලස් දැලට හසු වී තිබේ.
මොහු මෙසේ අල්ලස් ඉල්ලා ඇත්තේ එම ප්‍රදේශයේම ව්‍යාපාරිකයකුට පස් කපන මැෂිමක් යෙදවීමට සහ පස් කැපීමට බලපත්‍රයක් ලබාදීම සඳහා බව අල්ලස් කොමිසම පවසයි.
මීට පෙර අවස්ථා ගණනාවකදීම මොහු සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි ගණනාවක් ලැබී තිබූ අතර එම අවස්ථාවල දී වැටලීම් සිදු කරද්දී මොහු අල්ලස් නිලධාරීන්ගේ ඇසට වැලි ගසා වැටලීම් අවස්ථාවලින් බේරී තිබුණි.
සැකකරු ඊයේ පස්වරුවේ ප්‍රාදේශීය සභාවේ සිට නිවසට යන අතරමගදී පැමිණිලිකරුගෙන් අල්ලස් ලබාගෙන ඇත. මොහු ඊයේ පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණි.




