Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඔහු හැඩකාරය. කඩවසම්ය. ජව සම්පන්න ඔහු දකුණු ඉන්දියාවේ ඉපදුණා නම් චිත්‍රපට නළුවෙකි.

එහෙත් ඔහුගේ අවාසනාවට ඔහු ඉපැද ඇත්තේ යාපනේය.

ප්‍රභාකරන්ගේ සිහින තමිල්නාඩුවේය.

අවසානයේ ඔහු පාසල් වියේදීම එල්.ටී.ටී.ඊ. කාඩරයෙක්‌ වූයේය.
ළමා වියේ සිටම තුවක්‌කු බටය ඔසවාගෙන කාෂ්ටක අව්වේ යුද පුහුණුව ලැබුවද ඔහුගේ ඡවි වර්ණය අවවර්ණ වූයේ නැත. ඔහු ළමා විය පසුකර තරුණ වියට පා තබන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටින සුන්දරම තරුණයකු ලෙසටය.

එමෙන්ම ඔහු දක්‍ෂ වෙඩික්‌කරුවෙකි. ඒ දක්‍ෂතාවන් මෙන්ම සිත් වසඟ කරන රූප සොබාව නිසාම ඔහු ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්‍ෂක අංශයට බඳවා ගත්තේය. දැන් ඔහු අප ඉදිරියේය. සේනපුර පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වන ඔහු නෙමි නාදන්ය.

නාදන්ගේ මුල් පදිංචිය යාපනේය. ඔහුගේ පියා ලූනු ගොවියෙකි. මව රැකියාවක්‌ කළේ නැත. ඔහුට සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියක ද සිටියේය. තම පියාගේ ලූනු වගාවෙන් උපයන ආදායමෙන් ඔවුහු කා බී සතුටින් ජීවත් වූහ. අනිත් සහෝදරයන්ට මැදිව නාදන් ද අකුරු ඉගෙනගැනීමට පාසල් ගියේය.

ගුරුවරුන්ට කීකරු දක්‍ෂ සිසුවකු වූ නාදන් හත වසරට සමත් විය. "මේක අපේ රට. සිංහලුන් අපේ රට බලෙන් අල්ලගෙන ඉන්නවා. අපි අපේ රට දිනා ගන්න සටන් කරන්න ඕනා. අපි සටන් කරන්නේ දෙමළ ජාතිය වෙනුවෙන්. අපේ රාජ්‍යයක්‌, ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවා ගන්න අපිත් එක්‌ක එකතුවෙන්න" දිනක්‌ එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් නාදන් ඉගෙනගත් පාසලට පැමිණ එසේ දේශනයක්‌ පැවත්වූයේය.

ඒ වචන පුංචි නාදන්ගේ හදවතට හීසර මෙන් කි¹ බැස්‌සේය. තුවක්‌කු බට අතින් ගෙන මඟතොටේ කරක්‌ ගසන එල්.ටී.ටී.ඊ. කාඩරයන් ද ඒ පුංචි සිතේ වීරයන් වූයේය. "අපිත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳෙමුද?

එතකොට අපිටත් පුළුවන් තුවක්‌කු කරේ එල්ලගෙන මේ වගේ බයිසිකල්වල නැගලා යන්න" දිනක්‌ පුංචි නාදන් තම වැඩිමහල් සහෝදරයාට එසේ කීවේය. දැනුම් තේරුම් ඇති නාදන්ගේ සහෝදරයා නිවසට ගොස්‌ තම මල්ලී කියූ දේවල් අකුරක්‌ නෑරම මව්පියන්ට කීවේය. "විකාර කතා නොකිය හොඳට ඉගෙන ගන්න" කියා එදා නාදන්ගේ පියා පුංචි නාදන්ට තරවටු කළේය.

මාස තුන හතරක්‌ ගෙවී ගියේය. නාදන්ගේ සිතේ එල්.ටී.ටී.ඊ සංවිධානයට තිබූ කැමැත්ත දලුලා වැඩිණි. පියාගේ දැනමුතුකම් නාදන්ගේ හිත වෙනස්‌ කිරීමට සමත් නොවීය. දිනෙන් දින නාදන්ගේ සිත එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත බැඳුණේaය. දිනක්‌ අනිත් සහෝදරයන් සමග පාසලට ආ නාදන් නැවත නිවසට ගියේ නැත. ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂය එදින විය. තවත් යාළුවන් දෙදෙනකු සමඟ ඔහු එල්.ටී.ටී.ඊ කඳවුරක්‌ වෙතට ගියේය.

ඔවුන්ගේ ළමා වියට විරාම තිත තැබිණි. පොත් මිටිය පසෙකට දැමූ ඔවුහු ගිනි අවිය තුරුලට ගත්හ. නැණ පහනින් එළිවෙමින් තිබුණු ඒ ජීවිත අඳුරු වලාවෙන් වැසී යන්නට පටන් ගත්හ. පුංචි මොළ ගෙඩිවලට එල්.ටී.ටී.ඊ ය ත්‍රස්‌තවාදී වෛරී විෂ ඇතුළු කළහ. ඔවුහු උන්මත්තකයෝ වූහ. ලේ නොදැක සිටි ඔවුහු ලේ පිපාසයෙන් පෙළෙන යක්‍ෂයන් බවට පත් වූහ.
ඔවුන්ට විශ්වමඩු එල්.ටී.ටී.ඊ. කඳවුරකදී අවුරුදු දෙකක යුද පුහුණුවක්‌ ලැබිණි. යුද පුහුණුව අතරතුර නාදන් පළමු වරට සටන් බිමට පිවිසෙන්නේ යාපනේ හමුදා කඳවුරක්‌ අල්ලා ගැනීමට එල්.ටී.ටී.ඊ. ය කළ මෙහෙයුමක අත්උදව් කරුවකු ලෙසය.

"පොඩි වයස නිසා අපිව සම්පූර්ණයෙන්ම යුද්ධෙට යෙදෙව්වේ නැහැ. මම එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධ වුණේ 1993 වර්ෂයේ. එතකොට මට අවුරුදු 11 යි. ඒ කාලේ තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ සාර්ථකම කාලේ. එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට හොඳට යුද පුහුණුව ලබා දුන්නා. අපිටත් හොඳ යුද පුහුණුවක්‌ දුන්නා. ඒ පුහුණුව අතරතුර යුද මෙහෙයුම්වලට සහායකයන් වශයෙන් ද අපිව ගෙනිච්චා.

ඒත් යුද පෙරමුණට දැම්මේ නැහැ. ඒ කාලේ හමුදා කෑම්ප්වලට පහර දුන්නේ හොඳට සැලසුම් කරලා. එහෙම සැලසුම් කරලා කරපු මෙහෙයුම් සේරම ජයග්‍රහණය කළා."

"එල්.ටී.ටී.ඊ.ය ඒ කාලේ යුද්ධෙටම කියලා වෙනම කණ්‌ඩායමක්‌ පුහුණු කළා. ඒකට මාවත් තෝරගත්තා. අවුරුදු දෙකේ පුහුණුවට අමතරව තවත් මාස හයක අමතර පුහුණුවක්‌ අපට ලබාදුන්නා. ඒ පුහුණුව අවසානයේ තමයි මාව ප්‍රභාකරන්ගේ ස්‌කොඩ් එකට තෝරගත්තේ" නාමි නාදන් එසේ හඬ අවදි කළේය.

ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්‍ෂක අංශයට ඇතුළු වීම ලේසිපහසු කටයුත්තක්‌ නොවේ. ප්‍රියමනාප, කඩවසම් තරුණයකු වීම විශේෂ සුදුසුකමකි. ඕනෑම දෙයක්‌ දරා ගැනීමේ ශක්‌තිය තිබිය යුතුය. යුද පුහුණුවේදී විශේෂ දක්‍ෂතා පෙන්වා තිබිය යුතුය. සියල්ලටම වඩා විශ්වාසවන්තයෙක්‌ම විය යුතුය. මේ සියලුම විශේෂ සුදුසුකම් නාමි නාදන් සම්පූර්ණ කළේය. එහෙයින්ම එල්.ටී.ටී.ඊ සංවිධානය නාදන්ව ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්‍ෂක අංශයට යොමු කළේය. ඒ 2000 වර්ෂයේදීය. ඒ වන විට ඔහු වයස අවුරුදු 18 ක ජවසම්පන්න තරුණයෙකි.

දෙසිය හතළිහකින් යුත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්‍ෂක අංශය විවිධ අංශ කිහිපයකට බෙදා වෙන් කර තිබිණි. නෙමි නාදන් ඒ සෑම අංශයකම රාජකාරි කරමින් අවසානයේ ප්‍රභාකරන්ගේ සමීපතම ආරක්‍ෂක නිලධාරීන් දස දෙනා අතරට ද පැමිණියේය. ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් වසර තුනකින් හෝ පහකින් වෙනත් බළකායන්වලට මාරු කිරීම එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රමවේදයක්‌ වූ බැවින් නාමි නාදන් ද වසර පහක සේවා කාලයකින් පසු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සන්නද්ධ බළකායට මාරු කර හැරියේය.

නෙමි නාදන් වේළුපිල්ලේ ප්‍රභාකරන්ව වසර පහක්‌ වැනි කාලයක්‌ ළඟින්ම ඇසුරු කළ පුද්ගලයෙකි. ප්‍රභාකරන් ආ ගිය තැන්වලට ගිය ඔහු ප්‍රභාකරන්ගේ දින චර්යාව, ගති පැවැතුම් මෙන්ම ඔහුගේ පවුලේ විස්‌තර හොඳින්ම දැන සිටියේය. එහෙයින්ම ප්‍රභාකරන්ගේ චරිතය පිළිබඳ විමසීමට හොඳම කෙනා මොහු යෑයි අපි සිතමු.

"ප්‍රභාකරන් හොඳ මිනිහා. මිනිස්‌සුන්ට උදව් කළා. පුංචි දරුවන්ට ගොඩක්‌ ආදරය කළා. අසරණ මිනිස්‌සුන්ට ගොඩක්‌ උදව් කළා. 'උඹ බං බොලං' කියලා මිනිස්‌සුන්ව පහත් කරලා කතා කළේ නැහැ. බොහොම ළෙන්ගතුව මිනිස්‌සුන්ට කතා කරා" නෙමි නාදන් දැකපු ප්‍රභාකරන්ගේ චරිතය එසේ අප ඉදිරියේ විස්‌තර කිරීමට පටන් ගත්තේය. ඔහුගේ කතාවට විරාමයක්‌ තැබීමට ඉඩක්‌ නොතබාම අපි අපේ ප්‍රශ්න පත්තරය මෙසේ දිග හැරුවෙමු.

ප්‍රභාකරන්ට නිවාස කීයක්‌ තිබුණද?
"පුදුකුඩුඉරිප්පු, විශ්වමඩු, කිලිනොච්චියේ ගෙවල් තුනක්‌ තිබුණා"

වැඩි වශයෙන් ජීවත් වුණේ කොහෙ නිවසෙද?
"පුදුකුඩුඉරුප්පු, විශ්වමඩු නිවාසවල තමයි වැඩියෙන්ම හිටියේ. ඉඳල හිටලා කිලිනොච්චියෙත් හිටියා"

ප්‍රභාකරන්ගේ ජීවන රටාව මොන වගෙද?
"උදේ පාන්දර 4 ට විතර නැඟිටිනවා. මූණ කට සෝදගෙන කිරි එකක්‌ බීලා ලෝකෙ විප්ලවීය නායකයන් අළලා ලියෑවුණු පොත් කියවනවා. දෙවැනි ලෝක යුද්ධය සම්බන්ධයෙන් ලියෑවුණු පොත් කියවන්න විශේෂ කැමැත්තක්‌ තිබුණා."

"පොත් කියවලා ඉවරවෙලා කිලෝමීටර් පහක්‌ විතර ඇවිදලා ව්‍යායාම කරලා ඉවර වෙලා පිස්‌ටල් µයරින් එකක්‌ කරනවා. එහෙම කරලා ටිකක්‌ විවේකීව ඉඳලා නාගෙන උදේ 7. 30 ට විතර කාර්යාලයට යනවා. හැමදාම උදේ ආහාර ගන්නේ කාර්යාලයේදී. ඒ උදේ 8 ට විතර. එයා කෑම කන වේලාවට තව කවුරුහරි එල්.ටී.ටී.ඊ. නායකයෙක්‌ හිටියොත් ඒ අයවත් කෑම මේසෙට එකතු කර ගන්නවා. කෑම අරගෙන ඉවර වෙලා තමයි කාර්යාලයේ වැඩ පටන් ගන්නේ. ලිපි ගොනු පරීක්‍ෂා කරනවා. ගොඩක්‌ වෙලාවට අනිත් එල්.ටී.ටී.ඊ. නායකයන් සමඟ සාකච්ඡා කරන එක තමයි කළේ. ඒ අතර දවසේ පුවත්පත් බලනවා. දවල් 11 ට විතර පලතුරු බීම එකක්‌ බොනවා. හරියටම දවල් 12 ට කෑම කනවා. සවස 3 ට විතර කාර්යාලයෙන් ගෙදර යනවා. ඒ ගිහිල්ලා සමහර දවස්‌වල 'ස්‌විමින්' කරන්න µQල් එකට යනවා. එහෙම නැති දවස්‌වලට ගෙදරට වෙලා පොත් කියවනවා. ගොඩක්‌ දවස්‌වල හවස්‌ කාලයට යුද චිත්‍රපට බැලුවා"

එතකොට කාර්යාලය තිබුණෙ කොහේද?
"පුදුකුඩුඉරුප්පු, විශ්වමඩු, කිලිනොච්චි ප්‍රදේශ තුනේම එල්.ටී.ටී.ඊ. ප්‍රධාන කාර්යාල තිබුණා"

ඒ කාර්යාලවල මොනවද කෙරුණේ...
"ඒ තැන්වලදී තමයි නායකයෝ හමු වුණේ. ඒ ඒ කාර්යාලවලට වෙනම සේවකයෝ පත් කරලා තිබුණා. ඔවුන්ට පැවරුණු රාජකාරි තිබුණා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ විස්‌තර ඇතුළත් ලිපි ගොනු තිබුණේ ඒ කාර්යාලවල තමයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධව කෙරුණු සේරම දේවල් කෙරුණේ ඒ කාර්යාලවලදීයි"

ප්‍රභාකරන්ගේ ආරක්‍ෂක අංශයට වාහන කීයක්‌ තිබුණද?
"15 ක්‌ 16 ක්‌ තිබුණා. හයිඒස්‌ වෑන් 3 ක්‌, එකම විදිහට පැජරෝ රථ 6-7 තිබුණා. ඊට අමතරව මෝටර් සයිකල් කිහිපයක්‌ තිබුණා"

ප්‍රභාකරන් කොහේට හරි යන කොට ඒ වාහන ඔක්‌කොම යනවද?
"ඔව්.. පැජරෝ රථ 6 ක්‌ විතර යනවා. ඒ පැජරෝ රථවලින් කොයි එකේ යනවද කියලා දැනගෙන හිටියේ ආරක්‍ෂක අංශයෙත් කිහිප දෙනයි. හයිඑස්‌ වෑන් රථ තුනම යනවා. ඊට අමතරව බයිසිකල් හයක්‌ විතර යනවා"

එතකොට ප්‍රභාකරන්ට නිල වාහන කීයක්‌ තිබුණද?
"වාහන තුනයි.. නමුත් පැජරෝ රථ සේරම එකම වගෙයි"

කොහොමද ඒ වාහන පෙළ ගමන් කළේ...
"මුලින්ම මෝටර් සයිකල් තුනක්‌ යනවා.. ඊට පස්‌සේ හයිඑස්‌ වෑන් දෙකක්‌ යනවා. ඒ යන්නේ දුරින් දුරින්. ඊට පස්‌සේ තමයි අර පැජරෝ රථ ටික එන්නේ. ඒ ආවේත් දුරින් දුරින්. ඒ පිටුපසින් තවත් මෝටර් බයිසිකල් තුනක්‌ ගියා පස්‌සෙන්ම හයිඒස්‌ වෑන් එක ගියා"

ප්‍රභාකරන් සමග තවත් එල්.ටී.ටී.ඊ. නායකයෝ ගියාද?
"ඔව්.. සමහර අවස්‌ථාවල එල්.ටී.ටී.ඊ නායකයන් කිහිපදෙනා ගිය අවස්‌ථා තිබුණා"

ප්‍රභාකරන්ගේ සමීපතම දෙවැනි පෙළ එල්.ටී.ටී.ඊ. නායකයන් කවුද?
"මම දන්න විදිහට නම් කර්නල් සංකර් සහ පොට්‌ටු අම්මාන්. ගොඩක්‌ වේලාවට ප්‍රභාකරන් ගමන් යන කොට ඒ දෙන්නගෙන් එක්‌නෙක්‌ ගියා"

ප්‍රභාකරන්ට සිංහල කතා කරන්න පුළුවන්ද?
"සිංහල කතා කරනවා මම අහලා නැහැ. නමුත් යන්තමට සිංහල කතා කරන්න පුළුවන් කියලා සංවිධානය ඇතුළේ රාවයක්‌ තිබුණා"

ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද?
"සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන්. නමුත් හැම දේකටම භාවිත කළේ දෙමළ භාෂාව"

එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල දෙමළ මිනිස්‌සුන්ට සිංහල කතා කිරීම එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කරලා තිබුණද?
"එහෙම කරලා තිබුණෙ නැහැ. එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල තිබුණු පාසල්වලත් සිංහල ඉගෙනගන්න කැමති ළමයින්ට ඉගෙන ගන්න අවසර දීලා තිබුණා. තෝරාගත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසකටත් සිංහල ඉගැන්නුවා"

ඇයි එහෙම කළේ...
"සිංහල දන්න අය නැතුව සිංහල හමුදාව සමග යුද කරන්න බැහැනේ. හමුදාවේ යුද රහස්‌ දැනගන්න සිංහල භාෂාව ගැන දැනුවත් අය ඉන්න ඕනා"

ප්‍රභාකරන්ගේ දරුවන් සහ බිරිඳ හිටියේ ප්‍රභාකරන් එක්‌කද?
"නැහැ. ඒ අය වෙනම හිටියේ..."

ප්‍රභාකරන් එහෙම හිටියේ ඇයි..
"ඒක නම් මම දන්නේ නැහැ.."

එතකොට ප්‍රභාකරන්ගේ පවුලේ අය හිටියේ කොහේද?
"මුල්ම කාලේ හිටියේ පුදුකුඩුඉරිප්පුවල. කිලිනොච්චියේ ගෙදරත් හිටියා. යුද්ධයේ අවසාන කාලේ නම් විශ්වමඩු ගෙදර හිටියෙ. එතැනිනුත් තැන් තැන්වලට ගියා"

ප්‍රභාකරන්ගේ දරුවන්, බිරිඳව දැකලා තියෙනවද?
"ඔව්..."

කතා කරලා තියෙනවද?
"ගොඩක්‌ අවස්‌ථාවල ඒ අයත් එක්‌ක සුහදව කතා කරලා තියෙනවා"

ප්‍රභාකරන්ගේ දරුවෝ තුන්දෙනාම එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවලද හිටියේ...
"ඔව්... තුන්දෙනාම කොහේවත් ගියේ නැහැ. එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල තමයි හිටියේ. ඉස්‌කෝලෙ ගියෙත් එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල තිබුණු පාසල්වල තමයි. ප්‍රභාකරන්ගේ දරුවන්ට හොඳට ඉගෙනගන්න පුළුවන්ලු. ප්‍රභාකරන්ගේ ලොකු පුතා චාල්ස්‌ ඇන්තනී උසස්‌ පෙළ කරලා ඉංජිනේරු පාඨමාලාවක්‌ හදාරලා තියෙනවා"

ලබන සතියේ...

ප්‍රභාකරන් වැඩියෙන්ම ආදරය කළේ කාටද?


සටහන- තරංග රත්නවීර
දිවයීන පුවත් පත

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us