කඩුවකින් පහර දී ඝාතනය කිරීමට තැත්කල කහවත්තේ තරුණ යුවළ නුලෙන් බේරේ...
පහර දෙන අවස්‌ථාවේ සිව් හැවිරිදි දියණියත් නිවසේ නිදාගෙන ඉඳලා...
දරුණු ලෙස තුවාල ලැබූ තරුණ යුවළ කහවත්ත රෝහලට...සාහසිකයා පළායයි
කහවත්ත දිවුල්වල ප්‍රදේශයේ ඕපාත වත්තට යාබදව පිහිටා තිබූ නිවසකට පෙරේදා (10 දා) රාත්‍රියේ ඇතුළු වූ සාහසිකයකු එම නිවසේ පදිංචිව සිටි තරුණ යුවළකට ඉතා දරුණු ලෙස කඩුවකින් පහර දී පලාගොස් තිබෙනවා.
මෙම දෙදෙනා ඝාතනය කිරීමට සාහසිකයා ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බව මූලික පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
මේ සිද්ධියෙන් දරුණු ලෙස තුවාල ලැබූ ජී. ඩී. අමරසිරි (28) නමැති අය සහ ඔහුගේ බිරිඳ කේ. එල්. දිල්හානි (27) දෙදෙනා ප්‍රදේශවාසීන් එක්‌ව කහවත්ත රෝහලට ද අනතුරුව රත්නපුර මහ රෝහලට ද ගෙන ගොස් තිබේ. ඔවුහු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සිව් හැවිරිදි දියණිය ද නිවසේ නිදාගෙන සිට තිබෙනවා. තුවාල ලැබූ අමරසිරි මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර තිබෙනවා.
ඔහු සාහසිකයාට පහර දීමට උත්සාහ කර ඇති බවත් ඉන් අනතුරුව සාහසිකයා අත තිබූ කඩුව සහ ඔහු රැගෙන එන ලද විදුලි පන්දම ද දමා පලාගොස් ඇති බවත් තුවාලකරු කෙටි දුරක් ඔහු ලුහුබැඳ ඇති බවත් පොලිසිය පවසනවා.
සිද්ධිය වූ නිවසේ ජනෙල් තාවකාලිකව පොහොර බෑග්වලින් ආවරණය කර තිබෙනවා. ඉදිරි දොර අසල තිබෙන ජනේලයේ ආවරණය විවර කර සාහසිකයා නිවසට ඇතුළු වන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරනවා.
මෙම සිද්ධිය කහවත්තේ සිදු වූ අනෙක් අබිරහස් ඝාතනවලට සම්බන්ධයක් තිබේදැයි බුද්ධි අංශවල දැඩි අවධානයට ලක්‌ව තිබෙනවා.
මෙම යුවළ හා විශේෂ ආරවුලක් හෝ තරහකරුවන් නොමැති බවත් තුවාල ලැබූ අමරසිරි මහතා ගොඩනැඟිලි ඉදිකිරීම් කොන්ත්‍රාත් කටයුතු කරන බවත් ඔහුගේ මාමණ්‌ඩිය වන කේ. එල්. කරුණාරත්න නමැති අය පවසනවා.
අපරාධය සම්බන්ධයෙන් තොරතුරු සහ සාහසිකයා සොයා ගැනීමට ඊයේ (11 දා) අලුයම සිට පොලිස් නිලධාරීහු සහ බුද්ධි අංශ කටයුතු කරනවා. මේ සඳහා රත්නපුර පොලිසියේ නිල සුනඛ "රොකී" යොදාගෙන තිබෙනවා.