අය වැය දෙවන වර කියවීම අද සිට ඇරඹෙයි
2013 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පත විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30 රැස්වෙයි.
ඒ අනුව 2013 විසර්ජන පනත් කෙටුම්පතට අදාළව පළමු දින විවාදය අද සිදු කෙරෙනු ඇත.
දෙවන වර කියවීමේ විවාදය අද සිට දින 7 ක් සිදු කිරීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 17 වන දින පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
අයවැය තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 19 වන දින සිට දෙසැම්බර් මස 8 වන දක්වා දින 16 ක් පැවැත්වෙන අතර දෙසැම්බර් මස 8 වන දින අවසන් ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇත.
අද දිනයේ අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමට ද නියමිතය.
අයවැය විවාදය මේ සතියේ දී සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ද පැවැත්වේ.
ලබන 30 වන දින දක්වා විවාදය පැවැත්වීමට නියමිතය.
2013 වසර සඳහා වූ අයවැය ලේඛනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
Update 11/08/2012 15:16 PM
රජයේ සේවයේ වැටුප් වැඩීවීම රුපියල් 1500
'වැඩිම ගාණ මේ කාලේ..'
2013 වසර සඳහා වන අය වැය විසර්ජන පනත් කෙටුම්පතේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැදගත් යෝජනා සාරංශයන් පහත පරිදිය.
දැනට ප්‍රකාශිත එහි සාරාංශය මෙසේය
1) විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්ව විද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්ව විද්‍යාල ආචාර්ය සේවය වඩාත් ඵලදායි ලෙස ලබා ගැනීමටත් පියවර ගනී.
අධ්‍යාපනය සඳහා සිදුකරන වෙන්කිරීම් වැඩි කරන බවත් අනාගතයේ විශ්ව විද්‍යාල සඳහා සියයට 10 ක් සිසුන් ඇතුළත් කිරීම හා එම පහසුකම් සඳහාද විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ද රටේ තවත් විවිධ අධ්‍යාපන අවශ්‍යතා සඳහාද මුදල් වෙන් කරන බවත් පවතින අගයයන් වැඩි කර සමස්තය සියයට 4.1ක වැඩි වෙන්කිරීමක් කරන බවද ජනපතිවරයා දන්වනවා.
2) ආනයනික මත්පැන් බදු 25%කින් ඉහලට.
3) බලපත්‍ර වලට ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට
4) මෝටර් රථ ආදයම් බලපත්‍ර ගාස්තුව ඉහලට.
5) විශ්‍රාමිකයන්ට රු. 500/-ක දීමනාවක්.
6) රජයේ සේවකයන්ට රු. 1,500/-ක දීමනාවක්.
පසුගිය කාලයේ රජයේ සේවකයින්ගේ පහසුකම් වැඩිකිරීමට කටයුතු කළ බවත් ලක්ෂ 13 ක් දැන් රාජ්‍ය සේවයේ යෙදෙන බවත් 2005 මෙන් දෙගුණයක් වන එම ගණන සඳහා දැන් බිලියන 366 වැටුප් සඳහා වැය කරන බවත් පැවසූ ජනපතිවරයා මෙවර අයවැය මගින් වැටුප් වැඩිකිරීම ලෙහෙසි දෙයක් නොවන බවත් ජනතාවට එය දැරීමට අපහසු බවත් පැවසුවා.
රජයේ සේවයේ වැටුප් ව්‍යුහය නැවත සලකා බලන බවත් ඒ සඳහා වැටුප් කොමිසමක් පිහිටුවන බවත් පැවසුවා. මෙවර වැඩිකිරීම අවම වශයෙන් මසකට රුපියල් 1500 ක් වන බවත් පැවසුවා.
එයින් රුපියල් 750 ක් ජීවන වියදම් වශයෙන් සියලූ දෙනාට ගෙවන බවත් ඉතිරිය 750-2500 අතර දීමනාවක් වන බවත් දන්වනවා.
7) පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඔවුන්ගෙන් ද, ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරන්ගේ ද දස්කම්වලින් පියවර ගනී.
8) බාල ඖෂධ රටට ඇතුළුවීම වැලැක්වීමට භාෂා තුනෙන්ම එම බෙහෙත්වල ගුණාත්මක තත්ත්වය ඇතුළු විස්තර මුද්‍රණය කිරීමට ද පියවර ගනී.
9) ස්ථිර ආදායමක් නැති වයස අවුරුදු 65ට වැඩි ජූලි වර්ජකයින්ට ජනවාරි 1 වෙනිදා සිට රු. 5,000ක මාසික දීමනාවක්.
10) ආරක්ෂක අංශවල සේවයේ නියුතු සාමාජිකයින්ගේ පවුල් වෙත වසර 3ට බලපැවැත්වෙන පරිදි සහනදායී පුද්ගලික ණය ප්‍රදානයක් ලබාදීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරයි.
11) ආගමික හා සංස්කෘතික සහජීවනය පදනම් වැඩසටහන් සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.
12) වගා ණය සඳහා වන පොලී මුළුමණින්ම කපාගැරේ. ජෛව විවිධත්වයට හානි වන කෘෂි රසායන ද්‍රව්‍ය සීමා කරන අතර කිලෝ ග්‍රෑම් 50ක් බර පොහොර මිටියක් රුපියල් 450ක ස්ථාවර මිලකට ලබාදේ. වී කිලෝවක් සඳහා රුපියල් 40 ක ස්ථාවර මිලක්.
13) හකුරු, පැණි හා සීනි ආශ්‍රිත නිෂ්පාදන සඳහා බලපත්‍ර රහිතව කිතුල් හා පොල් ගස් මැදීමට අවසර ලබාදේ. වසරකට මෙරට සීනි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 450ක් වැය වන බැවින් ඉහත සඳහන් කළ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.
14) වසර මැදදී සෑම දරුවකුටම අමතර නිල ඇඳුමක් ද, අඩු ආදායම් පාසල් දරුවනට සපත්තු කුට්ටමක් ද, හුදකලා පාසල් දරුවනට ධාන්‍ය, කිරි, බිත්තරවලින් සමන්විත ආහාර වේලක් ද ලබාදේ.
15) 2015 වනවිට කුරක්කන් ආනයනය නතර කරයි. බඩඉරිඟු නිෂ්පාදනයෙන් රට දැන් ස්වයංපොෂිතවී තිබේ.
16) ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට කාර්මික නගර ඉදිකරන අතර නැනෝ තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය ඉහළ නංවන බවත් පැවසීමත් සමඟ 1.48ට විදුලිය විසන්ධි විය.
17) විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම්.
18) ලබන වසරේ පැවැත්වෙන දැයට කිරුළට මිලියන 60ක් වෙන් කෙරේ.
19) සාගර ආර්ථික සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටවේ.
20) උම්බලකඩ හා කරවල නිෂ්පාදනය දිරිමත් කිරීමටත්, කුඩා ව්‍යාපාරිකයනට ආදායම් හා බදු සහන සලසා එම ව්‍යාපාර ආදායම් හා ජාතිය ගොඩනැගීමේ බදුවලින් නිදහස් කෙරේ. ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලට ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් දස ලක්ෂය දක්වා ණය ආධාර.
21) දේශීය බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමටත්, දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් අවසර ලැබේ. මේ සඳහා විදේශ ආයෝජන නීති බල නොපායි.
22) 2004 පසු විශ්‍රාම ගිය අයට රුපියල් 750ක දීමනාවක් ද, 2004 පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500ක දීමනාවක් ද, 2013 දී වයස අවුරුදු 65 සම්පූර්ණ වූ අඩු ආදායම් ලාබීනට රුපියල් 5000ක ද දීමනාවක්ද ලැබේ
රජයේ සේවයේ වැටුප් වැඩීවීම රුපියල් 1500 'වැඩිම ගාණ මේ කාලේ..'
මෙය විස්තර කර කියා සිටියේ මෙසේය.
'මේ කාලෙ හැටියට 1500 වැඩිම ගාණ..වැඩිම ගාණ...මේ 1500 තුළ ජීවන වියදම් ලෙස 750 ක් හා ඉතිරිය මූලික වැටුපෙන් සියයට 5 ක් හැටියට රුපියල් 750 -2500 අතර ගණනක් වනවා.
මාණ්ඩලික නොවන අයට වැඩිවන සියයට 5 න් අඩක් ලබන මැයි මාසයේත් ඉතිරි අඩ සැප්තැම්බර් මාසයේත් ලැඛෙනු ඇති. මාණ්ඩලික අයට එය ජූලි හා ඔක්තෝබර් වනු ඇත. විනිසුරුවන් වෛද්‍යවරු ආචාර්යවරු ආදී විශේෂ අය සඳහා දීමනා සංශෝධනය කර ලබන ජනවාරි හා ජුනි මාසවල ලබාදෙනු ඇති'
වැටුප් වැඩිකිරීම කියා සිටි ආකාරය වීඩියෝව පහතින්
ජනපති මහින්ද ඔබාමාට සුබ පතයි
ඇමෙරිකානු ජනාධිපති ලෙස යළිත් වරක් පත් වූ බරක් ඔබාමා මහතාට, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනමයි.
ඒ 2013 වසර සඳහා වන අය වැය විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරිමට ප්‍රථමවයි.
Update 11/08/2012 07:16 AM
සුබ මොහොතින් එන අය-වැය ජනතාවට සුබ වෙයිද?..
අයවැය යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට
අයවැය යෝජනාවලිය හෙවත් 2013 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අද (08) සිදු කිරීමට නියමිතය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය යෝජනාවලිය දහවල් 1.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධුර කාලයේ තෙවන අයවැය මෙයයි.
2013 වසරේ රජයේ ආදායම, වියදම සහ එය පියවා ගන්නා ආකාරය මෙන්ම ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව අයවැය තුළින් ඉදිරිපත් කරනු ලබයි.
මෙවර රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 1335ක් ලෙස විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන්ය.
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය දෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ සිට දින 7 ක් සිදු කිරීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 17 වන දින පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
අයවැය විවාදය උදෑසන 9.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
අයවැය තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 19 වන දින සිට දෙසැම්බර් මස 8 වන දක්වා දින 16 ක් පැවැත්වෙන අතර දෙසැම්බර් මස 8 වන දින අවසන් ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.