Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අධික වර්ෂාවෙන් 1,75,000 ක් පීඩාවට- 23ක් මරු දකිති..

මගී බස් රථයක් ගංවතුරට කොටුවෙයි..
පැය තුනක මෙහෙයුමකින් බේරාගනේ (Video)..

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටී.

මේ හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

එක්ලක්ෂ අසූ දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටී.
ජල ගැලිම් හා නාය යෑම්වලට ලක්වූ පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා සිටින අතර අතුරුදන්වුවන්ගේ සංඛ්‍යාව 15කි.

අධික වර්ෂාව නිසා මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගොඩබිමින් ළඟාවිය නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

පුත්තලම එවැනි ප්‍රදේශයක් ලෙස හඳුන්වාදිය හැකියි.

විශේෂයෙන්ම බංගදෙණිය සහ මහවැව නගර ජලයෙන් යටවී ඇති බව අපාදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පැවසුවේ දැදුරුඔය පිටාර ගැලිම ඊට හේතුවී ඇති බවය.

මේ වනවිට දැදුරුඔය පසුකර පුත්තලම දෙසට කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ ගමන්කළ නොහැකි බව පොලිසිය පවසයි.

මේ අතර මහවැලි ගඟේ ජල මට්ටම වැඩිවීමත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව සහ ලංකාපුර ප්‍රදේශ ජලයෙන් යටවිම ඉහල යා හැකි බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ප්‍රකාශ කළේය.

ඔහු සදහන් ක‍ළේ පුද්ගලයින් හත්දාහස් පන්සිය පනස් පහක් පමණ අවතැන්ව ඇති බවය.

අධික වැසි හේතුවෙන් හම්බන්තොට  දිස්ත්‍රික්කයේ පුද්ගලයින්  පහලොස් දහසකට අධික පිරිසක් අවතැන්ව සිටින බව දිස්ත්‍රික් ලේකම් ආර්.සි ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ අම්බලන්තොට සහ තිස්සමහාරාම ප්‍රදේශවල ජලය තවමත් පවතින බවය.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල ගැලිම්වලින් පුද්ගලයින් පන්දහසක් පමණ අවතැන්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් එච්.පි හිටිසේකර මහතා පවසයි.

ඔහු සදහන් ක‍ළේ ජලය  ක්‍රමයෙන් බැස යමින් පවතින බවය.

මේ වනවිට කදවුරු 14 ක පුද්ගලයින් එක්දහස් හාරසිය දහසයක් රැඳි සිටින බව මාතලේ දිස්ත්‍රික් ලේකම් කේ.එච්.ඒ.මිගස්මුල්ල මහත්මිය සදහන් කළාය.

මේ වනවිට අධික වැසි තත්ත්වයේ අඩුවක්  පවතින බව ද ඇය පැවසුවාය.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට වර්ෂාව තවමත් පතිත වන බව දිස්ත්‍රික් ‍ලේකම් ජි.පි.ජි කුමාරසිරි මහතා සදහන් කළේය.

මේ අතර තවදුරටත් වැසි අපේකෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Update 12/19/2012 17:49 PM
හලාවත ජලගැලීම් හානි අහසේ සිට පෙනුණ හැටි

දැදුරු ඔය පිටාර ගැලීම නිසා හලාවත හා අවට ප්‍රදේශ වල සිදුව තිඛෙන ජලගැලීම් හානි සිතාගන්නටත් බැරි තරම්ය. නිවාස යටවී ඇත්තේ වහලවල් පමණක් ඉතිරිවන ලෙසය.
සිරස නිවුස් ෆර්ස්ට් හෙලිකොප්ටරයකින් නිරීක්ෂණය කරමින් හලාවත අවට ඊයේ සවස අහසේ සිට ලබාගත් වීඩියෝව බලන්න




අයහපත් කාලගුණතත්වය පිලිබදව අද ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් සහ හිරු ට්වී එය ප්‍රචාරය කළ අයුරු පහතින්

Live@8 News


Hiru News


----------------------------------------------------------------------------------
Update 12/19/2012 07:49 AM
පුත්තලම-කොළඹ බසයේ සිටි මගීන් බේරා ගනී
සැඩ පහරට හසුව ගසාගෙන යාමේ අවදානමකට ලක් වූ පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු බස් රථයක සිටි මගීන් පොලිසිය මැදිහත්ව බේරාගෙන තිබේ.

පොලීසිය පවසන්නේ දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් බංගදෙණිය ප්‍රදේශයේදී මාර්ගය ජලයෙන් යට වී ඇති අතර ප්‍රදේශය හරහා ධාවනය වෙමින් තිබු බස් රථයක් එම අනතුරුදායක තත්ත්වයට මුහුණ දුන් බවය.

ආරක්ෂා සහිතව මගීන් බැස්ස වූ පොලීසිය, බස්රථය ගසාගෙන යාම වැළැක්වීම සඳහා දැදුරු ඔය අසල දී එය කඹවලින් ගැට ගැසීමට ක්‍රියා කර තිබේ.

මේ අතර නුවරඑළිය ප්‍රදේශයේ මේ වනවිට දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව දිස්ත්‍රික් ලේකම් ඩි.පි.ජි. කුමාරසිරි මහතා පැවසීය.




ඔහු ප්‍රකාශ කළේ, රථවාහන ධාවනයේදී රියදුරන් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවය.



----------------------------------------------------------------------------------
Update 12/19/2012 15:19 PM
හලාවත දියෙන් යටවූ වගයි..!

හලාවත නගරය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි

දැදුරුඔය පිටාර ගැලීම සහ මුන්නේෂ්වරම වැවේ වැව් බැම්ම කපා ජලය මුදා හැරීමත් සමගම හලාවත නගරය ජලයෙන් යටවන්නට පටන් ගෙන ඇත. අද (19 ) දහවල් වන විට මෙම තත්ත්වය ඇති විය.

මුන්නේෂ්වරම වැවේ ජලය වැඩිවීමත් සමගම වැව් බැම්ම බිඳී යාමේ තත්ත්වයක් ඇති විය.ඒ අනුව වහාම ක්‍රියාත්මක වු යුධ හමුදා සෙබළුන් සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වැව් බැම්ම කපා ජලය මුදා හැරීමට කටයුතු කළහ.

ඒ සමගම හලාවත නගරයේ පිහිටි බස් නැවතුම්පළ ජලයෙන් වැසී ගියේය.හලාවත නගරයේ අතුරු මාවත් රැසක් ජලයෙන් යටවී ගිය අතර නගරය හරහා ජලය ගලා ගියේය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට හලාවත නගරය හරහා මෙසේ ජලය ගලා ගිය බව නගර වැසියෝ කියා සිටියහ.

මේ අතර මුන්නේෂ්වරම වැවේ ජලය මුදා හැරීමත් සමගම හලාවත නගරයට ආසන්නයෙන් පිහිටි මයික්කුලම,මැල්පුරය, සහ මැරවල යන ගම්මානද ජලයෙන් යටවී ඇති බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.

හලාවත - මයික්කුලම දුම්රිය හරස් මාර්ගය ආසන්නයෙන්ද හලාවත කොළඹ මාර්ගය හරහා ජලය ගලා යමින් තිබේ.

ඡායා රූ-ජූඩ් සමන්ත
----------------------------------------------------------------------------------
Update 12/19/2012 10:09 AM
හග්ගල උද්‍යානය අසල පස් කන්දක් කඩා වැටෙයි
නුවර එළිය, වැලිමඩ මාර්ගයේ පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇනහිට ඇත.

හග්ගල උද්භිත උද්‍යානය ආසන්නයේ දී මීට සුළු මොහොතකට පෙර මෙලෙස මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇතැයි සඳහන්ය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර, නුවරඑළිය, බදුල්ල, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පවසා සිටියි.
----------------------------------------------------------------------------------
Update 12/19/2012 08:02 AM
සෝමාවතියේ අතරමංව සිටි පිරිස මුදාගැනෙති
පොළොන්නරුව, සෝමාවතිය පුදබිමේ හටගෙන ඇති ජල ගැලීම් හේතුවෙන් එහි අතරමංව සිටි පුද්ගලයින් පිරිසක් පොලීසිය හා යුද හමුදාව එක්ව මුදාගෙන තිබේ.

සෝමාවතියේ වෙළඳාම් කරමින් සිටි පිරිසක් සහ ගවපට්ටිකරුවන් පිරිසක් මෙසේ මුදාගෙන ඇති බව සඳහන්ය.

මේ අතර ඊයේ (18) රාත්‍රී ගංවතුරෙන් පීඩාවට පත්ව සිටි පිරිසක් ගමන්ගත් ඔරුවක් පෙරළීයාමෙන් පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.

සුංගාවිල ප්‍රදේශයේ දී මෙය සිදුව ඇති අතර අදාළ පිරිස ගමන් ගත් ඔරුව ගසක ගැටීමෙන් එය පෙරළී ගොස් ඇති බව සඳහන්ය.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ එම ඔරුවේ ගමන් ගත් 29 හැවිරිදි පුද්ගලයෙකි.

ඔරුවේ ගමන්ගත් තවත් පුද්ගලයින් 10 දෙනෙකු සහ කුඩා ළමයෙකු දිවි ගලවාගෙන ඇති බව පොලීසිය පවසයි.
----------------------------------------------------------------------------------
Update 12/19/2012 08:43 AM
කොළඹ-පුත්තලම මාර්ගයටත් වැසි බලපෑම්

කොළඹ-පුත්තලම මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇත.
මේ අතර හලාවත-පුත්තලම මාර්ගය ද ජලයෙන් යටවීමෙන් ජයබිම ප්‍රදේශයේ සිට ගමනාගමනය ඇනහිට තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මෙවැනි ජලගැලීම් හටගෙන ඇත.



----------------------------------------------------------------------------------
Update 12/19/2012 11:27 AM
ධීවරයින් 5 ක් අතුරුදන් 
හලාවත ප‍්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් 05 දෙනෙකු අතුරුදන්ව තිබේ.

පසුගිය 16 වැනිදා ධීවර රැකියාව සඳහා මුහුදු ගිය ධීවර පිරිසක් මෙලෙස අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මොවුන් අතුරුදන්ව ඇති බවට ඊයේ (18) දිනයේ හලාවත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.

ඒ අනුව අතුරුදන් වූ ධීවරයින් පිරිස සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අතුරුදන්ව ඇති ධීවරයින් හලාවත, බංගදෙණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us