Update 12/01/2012 10:50 AM
රනිල්ගේ පුටුව වසර 6ට සුරක්ෂිතයි - පක්ෂව ඡන්ද 4978යි..
එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ ධූර කාලය වසර 06 කින් දීර්ඝ කර ගැනීමේ යෝජනාව දැන් පැවැත්වෙන එම පක්ෂයේ මහා සම්මේලනයේදී බහුතර ඡන්දයෙන් සම්මත වී ඇතැයි අප වාර්තාකරු පවසයි.
කෙසේ වෙතත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා දයාසිරි ජයසේකර, බුද්ධික පතිරණ, තලතා අතුකෝරාළ යන මන්ත්‍රීවරුන් එම යෝජනාවට විරෝධය පළ කර ඇතැයිද අප වාර්තාකරු සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් ස්ථීර කර ඇත.
එසේම එක්සත් ජාතික පක්ෂයේ නව රැඩිකල් යෝජනා මාලාව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කර තිබේ.
එකී යෝජනාව මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ස්ථීර කර ඇත.
මේ අතර එජාප නායකයාගේ ධූර කාලය වසර 6කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අද (01) පෙරවරුවේ ආරම්භ වූ මහා සම්මේලනයේදී පක්ෂව ඡන්ද 4978ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 337 ක්ද ලැබී තිබේ.
ඡන්ද විමසීම සිදුකරන ආකාරය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැවසු අතර ඒ අනුව යෝජනාවට පක්ෂ අය අත් උස්සා නැගිටින ලෙසත් විරුද්ධ අය ඉන් අනතුරුව නැගිට විරෝධතාවය අත් උස්සා ප්‍රකාශ කරන ලෙසත් ඔහු එම අවස්ථාවේදී දැනුම්දීමෙන් පසු ඉහත ප්‍රතිඵලය ලැබී ඇත.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා නැගි සිටිමින් කියා සිටියේ තමාගේ හෘද සාක්ෂියට එකඟව නායකත්වය වසර 6කින් දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධතාවය ප්‍රකාශ කරන බවයි.
කෙසේ වෙතත් අනතුරුව සම්මේලනය ඇමතු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද පවසන ලදී.
එසේම පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ යුතු බවද ඔහු පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ 54 වැනි මහා සම්මේලනය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී තවදුරටත් පැවැත්වෙයි.
Live@12 News
Update 12/01/2012 08:50 AM
එක්සත් ජාතික පක්ෂ මහ සමුළුව...
අද සිරිකොතේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මහ සමුළුව ආරම්භයට පෙර යම් උණුසම් තත්වයක් ඇතිව තිබේ.
සමූල භූමියට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පිරිසක් සහ පොලීසිය අතර ඇති වූ උණුසම් තත්වයක් මීට හේතුවයි. කෙසේ වෙතත් පොලීසිය මැදිහත් ඔවුන්ගේ ඇතුළුවීම වළක්වා ඇත.
සමුළු සංවිධායක කමිටුව විසින් සමුළුවට සහභාගී වන්නන් සඳහා විශේෂ ස්ටිකරයක් ලබා දී ඇති අතර පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිරිකොත අවට අරක්ෂාව සඳහා යොදා ඇත.
සමුළුව ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙරවරු 9.30ටය.