කොළඹ ට්‍රෑම් කාර් ධාවනය වූ ලංකාවේ ඉංග්‍රීසි යුගය පැවති 1900 ගණන්වල මුල් කාලය නැවත සිහිපත් කරවන සිද්ධියක් ඊයේ වාර්තා වුණා.
ඒ කොළඹ කොටුව ඕල්කට් මාවතේ දෙවැනි හරස් වීදිය අසල ප්‍රධාන මාර්ගයේ අඩි අටක පමණ අබිරහස් ගිලාබැස්‌මක් ඊයේ (03 වැනිදා) සවස ඇතිවිය.
වෙළෙඳසලක රූපවාහිනිය නරඹමින් සිටි තරුණයකු පැවසුවේ ප්‍රධාන මාර්ගයේ අඩි දෙකක් පමණ වළක් විවෘත වී තිබියදී එම ස්‌ථානයෙන් බස් රථයක් ගමන් කිරීම නිසා වළ තරමක් විශාල වූ බවයි.
වළ විවෘත වීම දැනුම්දීමත් සමග පොලිසිය එම ස්‌ථානයට පැමිණ කොළඹ දෙසට ගමන් කළ හැකි මන්තීරු දෙක එක් මන් තීරුවකට සීමාකර වළ විවෘතව තිබූ මන්තීරුව වසා දමන ලදී.
මේ හේතුවෙන් ඊයේ (03 වැනිදා) සවස එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇති විය.
වළ විවෘත වූ ස්‌ථානයට කොළඹ නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ බැකෝ යන්ත්‍රයක් යොදා ගිලා බැසීමට ලක් වූ ස්‌ථානය පිළිසකර කිරීමට පරීක්‍ෂා කිරීමේදී වළ තුළ තුඹසක් ලෙස පැවතීම නිසා එය විවෘත කිරීමට පියවර ගනු ලැබූහ.
එහිදී වළ අඩි අටක් පමණ විශාලව විවෘත වූ අතර පිළිසකර කිරීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන නිලධාරියෙක් පැවසීය.
මෙම වළ ඇතිවීමට නිශ්චිත හේතුව සොයාගෙන නොතිබූ අතර මෙම ගිලාබැස තිඛෙන ස්ථානය වසර ගණනාවකට පෙර කොළඹ ට්‍රෑම් කාර් ගමන් කළ මාර්ගය වැටී තිඛෙන්නට ඇතැයි දැන් සැක කෙරෙනවා.
මේ ඔස්සේ ලංකාවේ ට්‍රෑම් කාර් ඉතිහාසය ගැන සොයා බලන්නට අප පොළඹවනු ලැබුවා.
ලංකාවේ රික්ෂෝ යුගය අභාවයට යෑමට හේතු වූයේ ට්‍රෑම් රථ සේවයයි. දකුණු ආසියාවේ පළමු ට්‍රෑම් රථ සේවය ලැබී තිබුනේද කොළඹ නගරයටය. ඉංග්‍රීසින් 1895 වසරේදී මුලින් ම ඒ සඳහා අවශ්‍ය මාර්ග පද්ධතිය සකසනු ලැබූ අතර මුල්ම ට්‍රෑම් රථ ගමන 1899 සැප්තැම්බර් 12 වෙනිදා සිදුව තිඛෙනවා. මංගල ගමන ආරම්භ වූයේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ සිට තොටළග දක්වාය.
ඒ ගමනට විනාඩි 17 ක් ගත වූ බව කියැවෙනවා.එවකට නගරාධිපති ව සිටි එෆ්.එච්. ප්‍රයිස් මහතා ගේ ප්‍රධානත්වයෙන් එය පවත්වා තිඛෙනවා. මේ කාලයේ රික්ෂෝකරුවන් හා කරත්තකරුවන් ට්‍රෑම් රථ සේවය කඩාකප්පල් කිරීම සඳහා විවිධ ක්‍රියාවල යෙදුන බවත් කරත්ත කාරයන් කණ්ඩායම් ට්‍රෑම් රථවලට ගල්ගසා සැගවී සිටි අවස්ථා වාර්තාවූ බවත් පැරණි පුවත්පත්වල දැක්වෙනවා.
ප්‍රවාහන සේවයට වංචා කරමින් එහි ටිකට් නැතිව ගිය මගීන්ද සිටි බව පැරණි වාර්තා වල දැක්වෙනවා. බර කරත්ත කරුවන්ගේ ජරමර අස්සේ පටන් ගත් ට්‍රෑම් රථවල ටිකට් නොගෙන හොරාට ගිය මගීන්ද සිටි බව පුවත්පත් වාර්තා තිඛෙනවා.
ට්‍රෑම් රථ අනතුරු නිසා ජීවිත හානි ද එකල සිදුව තිබුණා. ඇතමෙක් ට්‍රෑම් රථ ඉදිරියට පැන දිවි තොර කර ගත් අවස්ථාද රථවලට ඉහළින් තිබූ කම්බි හා රැහැන් එකිනෙක හා ගැටීමෙන් කඩා වැටී සිදුවූ අනතුරුද වාර්තා වුණා.මේ අනතුරු වැළැක්විය හැක්කේ කෙසේද යන්න ගැන සොයා බැලීමට ඉංග්‍රීසීන් කොමිසමක් ද පත් කළ බව වාර්තා වනවා.
ට්‍රෑම් රථ සේවය ජනතාව අතර ඛෙහෙවින් ජනප්‍රිය වී තිබූ අතර 1900 ජනවාරි 13 වෙනි දින මහජනතාව වෙනුවෙන් ආරම්භ වූ මේ රථ සේවාවේ මුල් සතියේ ගමන් ගත් මගීන් ගණන විසි දහසක් බවත් වසරකට පසු දිනකට මගීන් 15000 ක් පමණ මේ ට්‍රෑම් රථවලින් ගමන් ගත් බවත් වාර්තා වුණා.
1929 වසරේ සිදුවූ මහා ට්‍රෑම් රථ වර්ජනයත් විශේෂ සිද්ධියකි.
සේවකයින්ට පඩි මදි යයි කියමින් ඇති වූ වර්ජනයේදී රියැදුරන් ඇතුළු සේවකයන් 225 දෙනකු සිය රාජකාරි නවතා දැමූ මේ වර්ජනයේ දී පොලිසියේ වෙඩි තැබීම්වලින් පස් දෙනෙකු මිය ගොස් තිබුණා.පිටතින් සේවකයින් යොදවන්නට සමාගම යෙදූ උත්සාහයන්ද අසාර්ථකවී තිබුණා. ට්‍රෑම් රථ සේවය කොළඹ නගර සභාවට පවරා ගත්තේ 1944 දී ය.
1950දී ට්‍රොලි බස් රථ සේවාව මුළු කොළඹ නගරය තුළ ආරම්භ කළ පසු ට්‍රෑම් සේවාව අභාවයට ගොස් තිබුණා. අදත් කොළඹ ඇතැම් තැන්වල ට්‍රෑම් රථ ධාවනය වූ මංතීරු දක්නට ඇති අතර ඊයේ ගිලාබැස්ම සිදුවූ ස්ථානයද එසේ තිබූ මංතීරුවක් වසා දමා පසු කලෙක තාර දැමූ තැනකි.