බුත්තල පොලිස්බල ප්‍රදේශයට අයත් ඔක්කම්පිටිය, නියඳගල ප්‍රදේශයේ ඊයේ (07) රාත්‍රී පැවැති කොටහළු උත්සවයක් අතරවාරයේ එම නිවසේ හිමිකරු විසින් සිදුකරන ලද වෙඩි තැබීමකදී හතර දෙනකුට තුවාල සිදුවී තිබේ.
තුවාල ලැබුවන්ගෙන් තිදෙනෙක් මොණරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙක් බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
වෙඩි තැබූ පුද්ගලයාට ප්‍රදේශවාසීන් එක්ව පහර දීම හේතුවෙන් ඔහුද තුවාල ලබා මොණරාගල මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
ඊයේ දහවල් සිය දියණියගේ කොටහළු මංගල්‍ය සැමරීම සඳහා ඥාතීන් විසින් නිවෙස සරසමින් සිට ඇත. එම අවස්ථාවේ දැරියගේ පියා පැමිණ සිගරැට්ටුවක් ඉල්ලා තිබේ. සිගරට් නැතැයි පැවසූ විට ඒ ගැන අමනාපයෙන් ඔහු නිවසින් පිට වී ගොස් ඇත.
රාත්‍රියේ කොටහළු මංගල්‍යය ජයටම පැවැත්වෙමින් තිබියදී නිවස පිටුපස කැලෑව දෙසින් එක්වරම රතිඤ්ඤයක් පිපිරෙන හඬක් ඇසි තිබේ. එය කොටහළු මගුලට පත්තු කළ රතිඤ්ඤයක් යැයි සිතුව ද එක්වරම දෙදෙනෙක් ඇද වැටී තිබේ.
බීමතින් ඔවුන් ඇද වැටෙන්නට ඇතැයි පිරිස සිතුවද දෙවැනි රතිඤ්ඤා හඬත් සමග තවත් අයෙක් ඇද වැටී ඇත. මෙම අවස්ථාවේ මංගල්‍යයට පැමිණ සිටි හමුදා සෙබළෙක් බිම දිගේ බඩගා ගෙන ගොස් වෙඩි එන්නේ කොහෙන්දැයි විපරම් කර ඇත. එවිට ඔහු දැක ඇත්තේ තවත් වෙඩිල්ලක් තබන්නට පතරොම් තුවක්කුව මානන පුද්ගලයෙකි.
වහාම කැලෑව දෙසට ගිය සෙබළා සැකකරු අල්ලා ගන්නවාත් සමග ඊළඟ වෙඩිල්ල ද පත්තු වී තිබේ. එම වෙඩි පහරින් කොටහළු ගෙදර තවත් අයෙක් තුවාල ලබා ඇද වැටී තිබේ. සැකකරු අල්ලා ගෙන බලද්දි ඔහු දැරියගේ පියා බව හඳුනා ගෙන තිබේ.
අනතුරුව පිරිමි සියලු දෙනා එකතු වී සැකකරුට හොඳහැටි පහර දී ගස් බැඳ පොලිසියට දැනුම් දී ඇත. සැකකරු වන ඒ.එම්. සුරවීර බණ්ඩාර නොහොත් “අම්පාරේ මාමා” නැමැති 48 හැවිරිදි පුද්ගලයා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දික ගරුසිංහ - වැල්ලවාය