
ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකහමාරක මුදලක් අනුමත කර ඇත.
රුපියල් බිලියන 315 ඉක්මවූ එම මුදල ප‍්‍රධාන වශයෙන් වෙන් කෙරෙන්නේ නව එයාර් බස් යානා මිලදී ගැනීම සඳහාය.
එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 234 ක් වන A330 - 300 වර්ගයේ එයාර් බස් යානා 6 ක් මිලදී ගැනෙන අතර නව A350 - 900 වර්ගයේ ගුවන් යානා 4 ක් මිලදී ගැනේ.
එම ගුවන් යානයක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 283 කි. එනම්, රුපියල් කෝටි 3560 කට ආසන්න මුදලකි.
නව ගුවන් යානා 10 ට අමතරව, ඉදිරි දස වසර සඳහා ඒවාට අමතර කොටස් මිලදී ගැනීම සඳහා ද මුදල් වෙන් කර ඇත.මෙම ගුවන් යානා ප‍්‍රංශයේ එයාර් බස් සමාගමෙන් මිලදී ගැනෙන අතර, ගුවන් යානා ගණුදෙණුව සඳහා ඇමෙරිකානු බෝයිං සමාගම ද තරග කර ඇත.
කෙසේවුවද, පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය යටතේ තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරේදී ද දැවැන්ත අලාභයක් ලැබිය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය 2012 වසරේදී රුපියල් බිලියන 20.5 ක අලාභයක් ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිය වසර වෙනුවෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.
ඒ අනුව, ගිය වසරේදී ශ්‍රී ලංකන් සමාගමේ සමස්ත ආදායම රුපියල් බිලියන 107.4 ක් දක්වා සියයට 36.1 කින් ඉහළ ගියත් එහි මෙහෙයුම් වියදම රුපියල් බිලියන 128 ක් දක්වා සියයට 30.6 කින් වැඩිවූ බව සඳහන්වේ.
මහ බැංකුව පවසන්නේ අනිකුත් ජාත්‍යන්තර ගුවන් සේවා වලින් ඇතිවන තරගකාරීත්වය සහ ඉන්ධන මිලේ ඇතිවන වෙනස්වීම් ශ්‍රී ලංකන් මූල්‍ය තත්ත්වය පිරිහීමට හේතු වූ බවයි.




