
කොට්ටාවේ සිට ගාල්ල දෙසට යමින් තිබූ වාහනයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
සිදුවූ අනතුරින් වීරකැටියේ පදිංචි පියසේන රූබසිංහ හා චන්ද්‍රා රූබසිංහ යන යුවල මියගිය බව පොලීසිය කියයි.
අද (28) උදෑසන සිදුවූ බව කියන එම අනතුරින් තුවාල ලැබුවන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
මියගිය රූබසිංහ මහතා හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හා ජනාධිපති මාධ්‍ය කටයුතුවලට සම්බන්ධ ආරිය රූබසිංහ මහතාගේ සහෝදරයාය. අධිවේගී මාර්ගයේ එක් අනතුරකින් දෙදෙනකු මිය ප්‍රථම අවස්ථාව මෙයයි.
බද්දේගම පිවිසුම පසුකොට ධාවනය වූ වෑන් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටත් පස් කණ්ඩියත් අතර ඇති කුඩා ඉඩකින් රිංගා මීටර 150 ක් පමණ ඇදී ගොස් බද්දේගම වඳුරඹ මාර්ගයට ඉහළින් ඇති පාලමෙන් පහළට වැටී එම මාර්ගය අයිනේ නතර වී තිබිණි. ප්‍රදේශවාසීන් පවසන්නේ පාරෙන් ඉවතට ආ වෑන් රථය රෝද දෙකකින් පැමිණෙන්නට ඇති බවයි.
උදෑසන 6.00 ට පමණ සිදුව ඇති මේ අනතුරින් තුවාල ලැබූ රූබසිංහ මහතා එම ස්ථානයේදීම මියගොස් සිටි අතර චන්ද්‍රා රූබසිංහ මහත්මිය කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කිරීමෙන් පසුව මියගියාය. රථය පදවාගෙන ආ රියදුරාත් මියගිය යුවලගේ පුතකුත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
අනතුර වූ අවස්ථාවේ රථයේ තිබූ රුපියල් ලක්ෂ 350,000 ක මුදල අනතුරෙන් පැය කිහිපයකට පසුව වෑන් රථයේ තිබී බද්දේගම පොලීසිය විසින් සොයාගන්නා ලදී.







