
මිහින් ලංකා මගින් පැය 11 ගුවන් තොටුපලේ..
මිහින් ලංකා ගුවන් සේවයට අයත් යානයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර තිබෙනවා.
මෙලෙස ධාවනයෙන් ඉවත්කර ඇත්තේ ගුවන් සේවයට අයත් ප්රධානතම ගුවන් යානයක් වන එම්.ජේ. 305 දරන යානයයි.
ඉන්දියාවේ මදුරෙයි බලා පිටත් වීමට සූදානම්ව තිබූ මෙම යානය කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ ගුවන්ගත කෙරුණේ නැහැ.
මිහින් ලංකා ගුවන් සමාගමේ රාජ්ය හා පොදු කටයුතු කළමනාකාර ගාමිණී අබේවර්ධන මහතා පැවසුවේ යානයේ එන්ජිමෙහි කාර්මික දෝෂයක් හටගෙන ඇති බවයි. ඊයේ පස්වරුවේ පිටත් වීමට නියමිතව තිබූ අදාළ යානය අවස්ථා දෙකකදී ගුවන්ගත කිරීමට සූදානම් වුවද අනතුරු සංඥා නිකුත් වීම හේතුවෙන් ගුවන් ගමන අත්හිටුවීමටයි තීරණය කෙරුණේ.
කෙසේ වෙතත් කාර්මික දෝෂය හේතුවෙන් මගීන්ට පැය 11කට අධික කාලයක් ගුවන්තොටුපොළේ රැඳීසිටීමට සිදුවුණා. පසුව වෙනත් ගුවන් සේවාවලට අයත් යානා දෙකකින් මගීන් පිරිස මදුරෙයි බලා පිටත්කර හැරීමට පියවර ගත්තා.
මේ අතර ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම යානය මෑතකදී මිහින් ලංකා සමාගමට මිලදී ගත් එකක් බවයි. එය සමාගම සතුව ඇති ‘ ඒ - 320 ’ මාදිලියේ හොඳම ගුවන් යානය බවට ද වාර්තා වුණා.




